Sunday, September 12, 2010

දස්කොන් ඝාතනය කුමන්ත්‍රණයක්ද?

උඩරට දුම්රිය මාර්ගයේ පනස් නව වන සැතපුම් කණුවට මුහුණ ලා මාර්ගයේ දකුණු පසට වන්නට කුඩා ගල් පර්වතයක් තිබේ. පිහිටීම තවදුරටත් විස්තර කළහොත් මෙය ඇත්තේ ඉහළ කෝට්ටේ දුම්රිය පළට මීටර් තුන්සියයක් පමණ මෙපිටිනි.

බැලූ බැල්මට කිසිදු විශේෂත්වයක් නොපෙනෙන මෙම ගල් පර්වතය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ සඟරජ ලෙන නැතහොත් සංඝරාජ ගල්ලෙන යනුවෙනි. ඊට හේතුව මහනුවර යුගයෙන් ඇරඹි අප රටේ වත්මන් බෞද්ධාගමික පුනර්ජීවනයේ අසම සම පුරෝගාමීත්වය දැරූ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ගේ සාමණේර දිවියේ වැදගත් කාලපරිච්ඡේදයක් මෙම පර්වතයේ ඇති ගල් ලෙන තුළ ගෙවී යාම ය.

වැලිවිට සරණංකර සංඝරාජ නාහිමියන් උපත ලබා ඇත්තේ තුම්පනේ, වැලිවිට ග්‍රාමයේ ය. බිළිඳු වියේදී කුලතුංග යනුවෙන් නම් ලද උන්වහන්සේ ගේ උපන් දිනය 1698 ජූනි 19 දා බවට අනුමාන කෙරේ. අප රටේ විධිමත් පැවිදි උපසම්පදාව අතුරුදන්ව තිබූ එම යුගයේ උන්වහන්සේ පැවිදි බිමට පත්ව ඇත්තේ යටිනුවර සූරියගොඩ විහාරයේ දී සූරියගොඩ සාමණේරයන්ගේ උපාධ්‍යායත්වයෙනි. එහෙත්, ඒ වන විට රට පුරා ඔඩුදුවා තිබූ ආගමික දේශපාලන අර්බුදයක් හමුවේ සූරියගොඩ සාමණේර හිමියන් පසුව මරණ දඬුවමට ලක්ව තිබේ.

ඉන්පසුව ධර්ම විනය හැදෑරීමට කිසිදු ක්‍රමයක් නොමැතිව අසරණ බවට පත් වැලිවිට සරණංකර සාමණේරයන් ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ ඉතා අවදානම් සහගත ක්‍රමෝපායකි. වර්තමාන දුම්රිය මග අද්දර ඇති මෙම ගල් ලෙන තුළ උන්වහන්සේගේ මූලික අධ්‍යාපන සමය රහසිගතව ගෙවී යනුයේ ඒ අනුවය.

"මේ අවට මිනිස්සු ඕක සඟරජ ලෙන කියලා හැඳින්වූවාට කෝච්චියේ යන එන හුඟක් මිනිස්සු ඔය ලෙන ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ අවට සමහර මිනිස්සුත් කියන්නන් වාලේ ඕකට සඟරජ ලෙන කියනවා මිසක් ඔය සම්බන්ධ පැහැදිලි ඉතිහාස කතාවක් දන්නේ නැහැ." එම ඓතිහාසික ලෙන පිළිබඳ ජන අවධානය කෙබඳු දැයි විමසූ අපට එම පිළිතුර ලබා දුන්නේ ඉහළකෝට්ටේ සහකාර දුම්රිය ස්ථාධිපති එච්.එම්. විජේසිරි මහතා ය. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ සිට අත පොවන මානයේ පිහිටි එම ගල් ලෙන පිළිබඳ ඓතිහාසික පසුබිම කෙටියෙන් හෝ මෙහි ලා සටහන් කළ යුතු යැයි අපට සිතිණ.

කන්ද උඩරට රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (වර්ෂ 1707 - 1739) ගේ අඹ යහළුවකු සේම එවකට සිටි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දස්කොන් හෙවත් ගස්කොන් අදිකාරම පිළිබඳව අපි අසා ඇත්තෙමු. බොහෝ දෙනෙකු දන්නා පරිදි දස්කොන් මරණ දඬුවමට යටත් වනුයේ රජුගේ බිසවක සමග පැවැති අනියම් සබඳතාවයක් හෙළිවීමෙන් රාජ උදහසට ලක්වීමෙනි.

එහෙත්, ඉහත සඳහන් කතා ප්‍රවෘත්තියේ ඇති පටලැවිලි බොහොමයකි. ඉන් පළමුවැන්න ඔහුගේ නම පේදුරු ගස්කොන් මිස දස්කොන් නොවීමය. ගස්කොන් නමේ 'ග' යන්න 'ද' යන්න බවට පත්ව ඇත්තේ ඔහු මරණ දඬුවම ලබා බොහෝ කලකට පසුව ය.

ගස්කොන් දෙවන රාජසිංහ රජ සමයේ (වර්ෂ 1636 - 1687) ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ ජාතික අසරුවකු ගේ පුතෙකි. පසුව දස්කොන්ගේ පියා රජ තුමාගේ අස් පන්තියේ මුහන්දිරම් පදවියට පත්ව තිබේ. ගස්කොන්ගේ මව ශ්‍රී ලංකාවේ විසූ පෘතුගීසි කාන්තාවකි. ප්‍රේඩ්‍රෝ ගැස්කොන් (Pedro Gascon) නමින් යුතු ඔහුගේ නම පසුව පේදුරු ගස්කොන් බවට පත්ව තිබේ. ඒ සිංහල උච්චාරණ රීති අනුව විය යුතුය. ඔහු බාල වියේ සිටම වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ගජ මිතුරකු බව ද පැවසෙයි.

එසේම ගස්කොන් අදිකාරම මරණයට පත් කොට ඇත්තේ හිස ගසා දැමීමෙන් නොවේ. පැරණි ලේඛනවල සඳහන් වන්නේ ඔහු "ශුල වධයට පමුණුවා" මරණයට පත් කළ බවකි. ශුල වධය යනු උල තැබීම ය. ඒ අනුව දස්කොන් දංගෙඩියට ගෙන යන විට කීයේ යැයි පැවසෙන හිටිවන කවි පවා ඉතා පසුකාලීනව ප්‍රබන්ධය වූ ඒවා බව ඒවායේ බස් වහර අනුව වුව හොඳින් පෙනෙයි.

"දස්කොන් රාජ උදහසට ලක්වීමට හේතුව ඔහු සැබැවින්ම වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවක් සමග පැවැත්වූ අනියම් සබඳතාවයක් ද නැතහොත් රජුගේ සමීපතමයකු වූ ඔහුට එරෙහිව රජ වාසල ප්‍රභූන් දියත් කළ රහස් කුමන්ත්‍රණයක් දැයි අදත් හරිහැටි පැහැදිලි නැත. කෙසේ හෝ ගස්කොන් මරණ දඬුවමට යටත් වීමත් සමඟම ඔහුගේ තවත හිතෛෂීවන්තයකු ද සිරගත කෙරේ. ඒ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. එහෙත්, පියතුමා සිරෙන් නිදහස්ව අවුත් රජුට යම් බරපතළ කරුණක් පවසයි. එනම්, දස්කොන්ට එරෙහිව නැගුණු එම අනාචාර චෝදනාව මුලුමනින්ම අසත්‍ය බවකි. එය ඔහුට එරෙහිව පැන නැගුණු රහස් කුමන්ත්‍රණයක් වශයෙන් රජු ඒත්තු ගන්නේ ගොන්සාල්වෙස් පියතුමා ගේ එම ප්‍රකාශයෙනි. ඉන් පසු එම කුමන්ත්‍රණ කරුවන් ලෙස රජු නම් කරනුයේ එවකට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් මහත් ප්‍රතාපයක් පළ කළ පැවිද්දකු හා ගිහියෙකි. ඒ පැවිද්දා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ ගුරු සූරියගොඩ සාමණේරයන් ය. ගිහියා විහාරේ රාළහාමි නමින් ප්‍රකටව සිටි ලෙව්කේ බණඩාර ය. එවකර රජ වාසල සමීපතමයකු වූ ලෙව්කේ බණ්ඩාර දස්කොන් ගේ ගෞරවණීය මිතුරෙකි. සූරියගොඩ සාමණේරයන් යනු දස්කොන් ගේ සිංහල භාෂා ගුරුවරයා බව ද ප්‍රකට ය. කෙසේ හෝ ඔවුන් සම්බන්ධ යැයි පැවසුණු රහස් කුමන්ත්‍රණය පිළිබඳව අසා මහත් සේ උදහස් වන නරේන්ද්‍රසිංහ රජු සූරියගොඩ සාමණේරයන් ගේ හිස ගසා දමනුයේ තම සුමිතුරු දස්කොන්ට කළ අපරාධය පිළිබඳ දැඩි සිත් තැවුලකිනි. මේ අතර රජතුමා ලෙව්කේ බණ්ඩාර රාජ අපරාධකරුවකු වශයෙන් නම් කොට මාකෙහෙල්වල නිවසක සිර අඩස්සියේ තබයි. ඒ වන විට යොවුන් වියේ පසු වූ වැලිවිට සරණංකර සාමණේරයන් තමන්ගේ ධර්ම පිපාසය සංසිඳුවා ගැනීම පිණිස බන්ධනාගාර රැඳවියකු ඇසුරු කොට රාජ උදහසට පත් වීමේ බිහිසුණු අවදානම ද නොතකා මාකෙහෙල්වලට වැඩම කරනුයේ පැහැදිලි කරුණක් මත ය. එනම් ලෙව්කේ බණඩාර හෙවත් විහාරේ රාළහාමි වැනි ධර්ම ශාස්ත්‍රීය උගතුන් එවක සාමජයේ අතිශයින් විරල වූ බැවිනි.

ගස්කොන් මරණ දඬුවමට යටත් කෙරුණේ වර්ෂ 1721 දී යැයි අනුමාන කෙරේ. ඒ අනුව සරණංකර සාමණේරයන් මෙම ගල් ලෙනේ වාසයට සපැමිණ ඇත්තේ අවුරුදු විසි තුනෙන් පසු එළැඹි ඊට ආසන්න වයසක දී බව නිගමනය කළ හැක.

රාජ නියෝගය මත ලෙව්කේ බණ්ඩාරයන් සිර කොට ඇත්තේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ ඇති 'පොල්ගස්ගොඩගෙදර' නම් නිවසක බව ද සනාථ වී තිබේ. එම නිවැසියන් ගේ පරපුර අදත් එහි යහතින් වෙසෙයි. එම නිවසේ සිරගත ජීවිතයක් ගත කළ ලෙව්කේ බණ්ඩාරයන්ට අලගල්ලේ විහාරයට යාමේ ඒමේ නිදහස පමණක් හිමිව තිබේ. සරණංකර සාමණේරයන් ඔහුගෙන් ශාස්ත්‍ර හදාරනුයේ එසේ යන එන අතරතුර රහසේ මග රැක සිටිමිනි. එලෙසෙ සාමණේරයන් පළමුව සතිපට්ඨාන සූත්‍රයත් දෙවනුව බාලාවතාරයේ නාම කාණ්ඩය දක්වාත් ලෙව්කේ බණ්ඩාරයන් වෙතින් ඉගෙන ගත් බව පැවසෙයි.


Thursday, September 9, 2010

ආච්චිලාගේ හාල් ගැරීම

මීයන්ඇල්ල ප්‍රපාතයෙන් පහළ පිහිටි මාකෙහෙල්වලට අයත් ඉහළ කෝට්ටේ, වලගොඩ සහ පල්ලෙබැද්දෙවල යන ප්‍රදේශවල වෙසෙන එක් දහස් නවසිය විසි පහට පෙර උපන් එනම් වයස අවුරුදු අසූ පහ ඉක්ම වූ ගැමියකු සොයා ගැනීම අපගේ ඊළඟ අරමුණ විය.

ඒ විමසුමේ දී අපගේ අපේක්ෂාවන් සියයට සියයක් මල්ඵල ගන්වමින් අපට ඉහළ කෝට්ටේ පදිංචි එච්.පී. සේදරා මහතා හමුවිය. දැනට අනූ නව හැවිරිදි ඔහු උපත ලබා ඇත්තේ 1911 වසරේය. ඒ අනුව 1925 වන විට ඔහු දහ හතර වියැති කොළු ගැටයෙකි.

"ඉස්සර ඔය කන්දෙන් පල්ලට කෝච්චියක් පෙරළිලා තියනවා. ඒ කෝච්චියේ තිබුණු හාල් ගෝනි ඔක්කොම පුපුරලා හැම තැනම ඉහිරිලා. පස්සේ ඒවා ඔය මීයන්ඇල්ල ඔය දිගේ තලගොල්ල ඔයටත් ගහ ගෙන ඇවිල්ලා. ඒ කාලේ මේ ගම්වල ආච්චිලා ඒ හාල් එකතු කරගෙන ඇවිත් ඒවා අව්වේ දාලා වේලලා තියනවා. බත් නැතත් ඒවා කොටලා කෑම වර්ග හදන්න පුළුවන් හින්දා. ඊට පස්සෙ උන්දැලා ඒවායේ ගල් වැලි අයින් වෙන්න දිගට හරහට ඒ හාල් ගරලා තියනවා." ඔහු කීයේ අප ඉතා හොඳින් අසා පුරුදු රසවත් පිරුළක් යළි සිහියට නංවමිනි.

සේදරා මහතා එම දුම්රිය අනතුර තම මිත්තනියගේ කාලයට එනම් දහනව වන සියවසට බැර කරන මුත් එම බිංගෙය තැනීම තමන්ගේ පියා වන එච්.පී. සිරිපිනා ද දායක වූ බව අඟවයි. ඒ ඔහු ඒ බිංගෙය හැරීමේ දී ගල් අරන් දැමීමට ගිය බවක් පවසමිනි. එවකට තම පියාගේ මාසික වැටුප පනම් දෙකක් හෙවත් ශත දොළහක් වූ බවද සේදරා මහතා කියයි. මෙම මීයන්ඇල්ල බිංගෙය ඇතුළත හා මීයන් ඇල්ල කඩා හැලෙන ස්ථානය සම්බන්ධ කෙරෙන අඩි පහළොවක් පමණ දිගින් යුතු තරමක කුහරයක් අදත් දක්නට පුළුවන. සේදරා මහතා පවසන අන්දම බිංගෙය හෑරීම සඳහා කඩන ලද ගල් ඉන් පිටතට දමා ඇත්තේ එම කුහරය තුළිනි. එනිසාම මෙම බිංගෙය තුළින් පා ගමනින් යන විට ඒ ගල් කුහරය අද්දරදී අමුතුම සිසිලසක් දැනෙයි. ඒ එම කුහරයෙන් පිටත සිසිල් වාතාශ්‍රය බිංගෙය තුළට නොමඳව ගලා එන නිසාය. ඒ අනුව මෙම බිංගෙය විසි වන සියවසේ මුල් දශකය එකහමාර තුළදී අතරදී එනම් ඉහත සඳහන් දුම්රිය අනතුර සිදු වී සෑහෙන කාලයකට පසුව ඉදි කොට ඇති බව අනුමාන කළ හැක. එමෙන්ම හුදෙක් බ්‍රිතාන්‍ය ලේඛන ඇසුරින් ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය මුල් කොට කෘතියක් සම්පාදනය කළ ජී.එෆ්. පෙරේරා ඊට පසු කාලයක සිදු වූ මෙම දුම්රිය අනතුර සහ බිංගෙය තැනීම එතරම් වැදගත් යැයි නොසිතෙන්නට ඇත.

කොළඹ මහනුවර දුම්රිය මග තැනීමේදී වැඩිපුර ශ්‍රමය වැය කොට ඇත්තේ ඉන්දීය කම්කරුවන්ය. එහෙත්, මෙම බිංගෙය තැනීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය දී ඇත්තේ ශ්‍රී ලාංකීය කම්කරුවන් බව පැවසෙයි. එලෙස මෙම අතිදුෂ්කර කාරිය වෙනුවෙන් දහඩිය සේම රුධිරය ද වගුරා ජීවිත පරිත්‍යාගයෙන් දායකත්වය දුන් කම්කරුවන්ගේ වගතුග පිළිබඳ තොරතුරු විමසීමටද අපි අමතක නොකළෙමු. එහිදී ඉහළ කෝට්ටේ පදිංචි විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයකු වන හැත්තෑ හැවිරිදි ආර්.පී.ජී. පියදාස මහතා ඉහළ කෝට්ටේ දුම්රිය වේදිකාවට මඳක් ඉහළින් ඇති පොත්තපිටිය සයිඩිම නමින් හැඳින්වෙන දුම්රිය අතුරු මාර්ගය අද්දර ඇති උස පොල් ගසක් පෙන්වීය.

"අර පොල් ගහ තියෙන්නේ ඔය බිංගෙය හාරන්න සම්බන්ධ වුණු අපේ ආතා කෙනෙකුගේ මිනී වළ උඩ" හෙතෙම කීය.

"ඒ ආතාගේ නම එස්.පී. අප්පුවා. ඉපදිලා තියෙන්නේ එක් දහස් අටසිය අසූවේ. උන්දෑ තරුණ කාලේ තමයි ඔය බිංගෙය හාරන වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් දිගටම රේල්ලුවේ වැඩ කරලා තියෙනවා. ඔය බිංගෙය හදන්න කම්කරුවෝ විඳපු දුක් ගැන හදපු කවි සීපද එහෙමත් ඔය ආතා අපිට කියා දීලා තියනවා. කොහොම නමුත් ඔය ආතාට රේල්ලුව කිව්වම පණ වගේ තමයි. ඒ හින්දම තමයි එක්දාස් නවසිය හැත්තෑ හතරේ උන්දෑ මැරුණම අපි උන්දෑගෙ මිනිය රේල් පාර අයිනේම වළලලා උන්දෑ රේල්ලුවට කරපු නිහඬ සේවය මතක් වෙන්න ඒ මිනී වළ උඩ පොල් පැළයකුත් හිටෙව්වේ."


පියදාස මහතා එසේ පවසත්ම එම පොල් ගසේ අතු සෙමෙන් ඒ මේ අත සෙලවෙන්නට වූයේ අතීතයේ එම යෝධ මෙහෙවරට දායක වූ එම අප්‍රකට මිනිසාගේ ජීව ගුණය තවමත් එම වාතලයේ සැරිසරන බව කියා පෑමට මෙනි.


උඩරටින් පහතරටට දුම්රියක් පෙරලෙයි


දකින ඕනෑම අයකුගේ සිත් සලිත කරවන ගැඹුරු ප්‍රපාතයක ඉහත්තාවේ ඇති මීයන්ඇල්ල පැරණි දුම්රිය දුර්ග මාර්ගය ඔස්සේ අපි ඉදිරියට ගමන් කළෙමු. ඒ මීට බොහෝ කලකට පෙර මෙම ප්‍රපාතයෙන් පහළට පෙරළී ගිය දුම්රියේ කොටස් තවමත් එහි පාමුල ඇතැයි යන හෝඩුවාව ද සිතේ රඳවා ගනිමිනි. කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ මෙම මීයන්ඇල්ල දුර්ගයේ වූ අනතුරුදායක බව වටහා ගත් ඉංග්‍රීසීන් පසුව මෙම 'මරු කපොල්ල' වසා දමා එම පර්වතය විද බිංගෙයක් තනා තිබේ. මෙම මීයන් ඇල්ල පර්වතය විද ඒ මැදින් බිංගෙයක් තනා උඩරට දුම්රිය ඒ ඔස්සේ ආරක්ෂාකාරීව ධාවනය කරවීමට ඔවුන් තීරණය කොට ඇත්තේ ඒ අනුවය.

ඉතා දිගු කලක් තිස්සේ අධික වර්ෂාවට නතුවීම නිසා මීයන්ඇල්ල පැරණි දුම්රිය මාර්ගයේ ස්ථාන බොහොමයක් මේ වන විට සේදී ගොසිනි. එමෙන්ම ඉවක් බවක් නොමැතිව වැඩෙන මානා ආදී තෘණ විශේෂ නිසා එම දුර්ග මාර්ගය ඔස්සේ ගමන් කිරීම ද තරමක් අපහසුය. එහෙත්, ගැමියන්ගේ පරිහරණය සඳහා යොදා ගැනෙන අඩිපාරක සලකුණු ඒ මානා පඳුරු අතරින් පාදා ගැනීමේ බැරිකමක් ද නැත.

පර්වතයෙන් දෙකට බෙදී කඩා හැලෙන මීයන්ඇල්ල මෙම ප්‍රපාත ගැට්ට මත ගමන් කරන විට නෙත් අබියසින්ම දර්ශනය වෙයි. එය මෙම පැරණි දුම්රිය මාර්ගය සමීපයේම පිහිටා ඇත. ඉහත සඳහන් දුම්රිය අනතුරට හේතුව ද එම දියඇල්ලේ ජලය එක්වරම වැඩිවී ප්‍රපාත ගැට්ට මත තිබූ කෙටි දුම්රිය පාලම් අබලන් වීම යැයි කියනු ලැබේ. එහෙත්, අද එම දුම්රිය පාදම්වල සලකුණක් වත් නැත. ඒ වෙනුවට දැකිය හැක්කේ දිය ඇලි දෙක ගලා හැලෙන එම කපොළු හරහා යොදා ඇති දුම්රිය පීලි කිහිපයකි. එබැවින් මෙම පැරණි දුම්රිය දුර්ගය ඔස්සේ පා ගමනින් යන්නවුන් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ඒ පොඩ්ඩ එහා මෙහා වීමෙන් ඔවුන් ද එම ප්‍රපාතයට ඇද වැටිය හැකි බැවිනි.

"ඔය කියන කෝච්චිය පහළට පෙරළිලා තියෙන්නේ මෙන්න මේ හරියෙන්. නමුත් පස්සේ සිද්ද වුණු නායයාම් හින්දා ඒ කෝච්චියේ කෑලි පසට යට වෙලා ගිහින්." මෙම චාරිකාවේදී අපට හමු වූ එම පහත බෑවුමේ පදිංචිකරුවකු වන මාකෙහෙල්වල, වලගොඩ පදිංචි හීන්බණඩා වික්‍රමසිංහ මහතා එම ප්‍රපාතය දක්වමින් කීය. මේ වන විට හැට හත් වියෙහි පසුවන ඔහු සමාජ සේවකයකු වශයෙන් ද එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව හිඳින්නෙකි.

වික්‍රමසිංහ මහතා පවසන අන්දමට මුහුදු මට්ටමින් අඩි දහසක උසින් පිහිටි ප්‍රපාත ගැට්ට මත සිට එම දුම්රිය පෙරැළී ඇත්තේ මුහුදු මට්ටමින් අඩි තුන්සිය පනහක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ය. අප රටේ භූවිෂමතාව අනුව එම දුම්රිය උඩරට සිට පහතරටට පෙරළී තිබේ.

කෙසේ හෝ මෙම බිහිසුණු අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැඩි විස්තර විමසා බැලීමට ඉන්පසු අපි උත්සුක වීමු. ඒ මෙම දුම්රිය අනතුර 'සුවිශේෂී' එකක් බැවිනි. නමුදු දුම්රිය දෙපාර්තමේතුවෙන් අපට පවසා සිටියේ පුදුම සිතෙන කතාවකි. එනම් එවන් අනතුරක් පිළිබඳ කිසිදු තොරතුරක් තම ලේඛනවල නොමැති බවය.


රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය මාර්ගයේ පා ගමනක යෙදෙන අතරේ මෙම අනතුර පිළිබඳ වෙනම ගවේෂණ චාරිකාවක යෙදීමට අපට සිත් වූයේ එය දුම්රිය දෙපාර්තමේනතුවෙන් ද වසන් වූ සිද්ධියක් බැවිනි.

මෙම අනතුර සිදු වූ ස්ථානයේ සිට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ඇත්තේ කෙටි දුරකි. එනම් මීටර් අට සියයකි. එබැවින් අපි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානාධිපති ඩී.එල්. කුලසිරි මහතාගෙන් ද මේ අනතුර පිළිබඳව විමසා සිටියෙමු. එවිට ඔහු කීයේ අතීතයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව පැවසෙන එම දුම්රිය අනතුර පිළිබඳ පුවත ප්‍රදේශයේ කිසිවකුටත් රහසක් නොවන බවකි.


එහෙත් ඒ අනතුර සිදු වූ කාල වකවානුව පිළිබඳ නිශ්චිත කොට කීමට මේ කිසිවෙකුත් සමත් නොවෙති.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භය හා විකාශනය පිළිබඳව එවකට දුම්රිය සේවයේ ඉහළම විධායක තනතුරක් හෙබ වූ ජී.එෆ්. පෙරේරා මහතා ලියූ The Ceylon Government Railway: The Story of It's Inception and Progress කෘතිය මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීම් ආදිය පිළිබඳ වූ කෝෂ ග්‍රන්ථයක් වැන්න. එය ප්‍රකාශයට පත් වී ඇත්තේ 1925 වසරේය. උඩරට දුම්රිය මාර්ගය තැනීම පිළිබඳව බ්‍රිතාන්‍ය මූලාශ්‍ර ඇසුරින් තොරතුරු රැසක් ඉදිරිපත් කෙරෙන එම ග්‍රන්ථයේ මෙම පැරණි මීයන්ඇල්ල දුර්ගය හරහා වැටී ගත් පැරණි දුම්රිය මඟෙහි ඡායාරූපයක් පවා දැක්වෙයි. එසේම එහි මීයන්ඇල්ල යන්න සඳහන් වී ඇත්තේ ඉංග්‍රීසීන්, එය හැඳින් වූ මීන්ගල්ල (meengalla) යන නමිනි. එහෙත්, එම කෘතියේ ද එබඳු දුම්රිය අනතුරක් පිළිබඳව හෝ එම දුර්ග මාර්ගය වෙනුවට පසුව ඉදි කළ බිංගෙය පිළිබඳ වගේ වගක් නැත.

ඒ අනුව අපි ඒ සම්බන්ධ එක් පූර්ව නිගමනයකට පිවිසියෙමු. එනම් එම අනතුර සිදුවීම සහ බිංගෙය තැනීම 1925 න් පසු සිදු වූ බවය.



Tuesday, September 7, 2010

කටුරොද ගම්මානය උඩින් ගමනක්

රඹුක්කන සිට කඩුගන්නාව තෙක් වන උඩරට දුම්රිය මාර්ග ප්‍රවේශයේ චමත්කාරය මුළුමනින්ම පාහේ රැඳී ඇත්තේ දුම්රිය මාර්ගයේ දකුණු පසින් දිස්වන අසිරිමත් සබරගමු නිම්නය නිසාය. අගනුවරින් කිලෝ මීටර් අසූ හතක් පසු කළ විට මුල්වරට එම නිම්නය අපේ නෙත ගැටෙයි. ඉන්පසු අලගල්ල කන්ද ඔස්සේ උඩරට දුම්රිය ශීඝ්‍රයෙන් ඉහළ නගිත්ම එම සබරගමු නිමනයේ දර්ශන පසුතලය මදින් මඳ පුළුල් වනු පෙනේ. එය නෙත් සිත් සනහන දසුනකි. කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ඉංග්‍රීසීන් නිර්මාණය කළ මීයන් ඇල්ල අද්දරින් වැටීගත් මෙම මීයන්ඇල්ල දුර්ගය එම සබරගමු මිටියාවත උස්ම ඉහත්තාවේ ඉදිකළ සොබාදහම රස විඳිය හැකි කදිම වේදිකාවක් මෙනි. කේයස් කවිඳුන්ගේ "සුදෝ සුදු" කාව්‍යය ඇසුරින් මීට ටික කලකට පෙර නිපදවුණු ටෙලි නාට්‍යයයේ "කටුරොද" ගම්මානය ලෙස ඉදිරිපත් කොට ඇත්තේ ද මෙම මිටියාවතේ ඇති සොඳුරු ගැමි පරිසරයම ය. ඒ හැරුණුකොට මෙම ස්ථානයට උතුවන්කන්ද, ඉංග්‍රීසීන් බයිබල්රොක් නමින් හැඳින්වූ බතලේගල සහ මොටනකන්ද සේම මධ්‍ය කඳුකරයේ පිහිටි දොළොස්බාගේ කඳු ද මනාව දර්ශනය වේ.

අතීතයේ පටන් මීයන් ඇල්ල පර්වතය ආශ්‍රිතව මීවද බහුලව දැකිය හැකිව තිබේ. අදත් මෙම දිය ඇල්ල ඇද හැලෙනුයේ එම මීවද අතරිනි. දිය ඇල්ලට සහ එම පර්වතයට "මීයන් ඇල්ල" යන සොඳුරු නම ලැබී ඇත්තේ එබැවිනි. එහෙත්, මෙම ප්‍රදේශය සඳහා යෙදුණු "මීයන් ඇල්ල" යන්න සුද්දන්ට උච්චාරණය වූයේ අන් ලෙසකිනි.

ඒ මීන්ගල්ල යනුවෙනි. එබැවින් දුම්රිය සේවය පිළිබඳව ඔවුන් තැබූ පැරණි සටහන්වල මෙම ස්ථානය හඳුන්වා තිබුණේ මීන්ගල්ල දුර්ගය (Meengalla Pass) යනුවෙනි.


ඒ කෙසේ හෝ ඉන්පසු සෑහෙන කාලයක් යන තුරුම මෙම මීයන් ඇල්ල දුම්රිය මාර්ගය උඩරට දුම්රියට මහත් අපල උපද්‍රව ගෙන දෙන ස්ථානයක් වී තිබේ. ඒ උඩරට බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කිහිපයක්ම මීන්ගල්ල ප්‍රපාත ගැට්ට මතදී අඩි පන්සියයකටත් වඩා ගැඹුරු ප්‍රපාතයට පෙරැළී යාම නිසාය. විශේෂයෙන් නිරිත දිග මෝසම් සමයේ ශීඝ්‍ර ලෙස තරවන කොටස් දෙකකට බෙදුණු මීයන් ඇල්ලේ ජල ප්‍රවාහයෙන් ඒවා පහළට ගලා යනු පිණිස එම දුර්ගය හරහා ඉදි කොට තිබූ කෙටි දුම්රිය පාලම්වලට හානි පැමිණීම එම බිහිසුණු අනතුරු වලට හේතුවන්නට ඇත.

එබැවින් උඩරට දුම්රිය මාර්ගයේ මීයන් ඇල්ල දුම්රිය මාර්ගය දිගින් දිගටම නඩත්තු කිරීමේ අයෝග්‍ය බව වටහාගත් ඉංග්‍රීසීන් පසුව එම මීයන් ඇල්ල පර්වතය විද ඒ හරහා දිගු බිං ගෙයක් නිර්මාණයකොට තිබේ. මීයන් ඇල්ල දුර්ගය වෙනුවට මීයන් ඇල්ල බිං ගෙය දුම්රිය ධාවනය සඳහා යෙදුණේ ඉන් පසුවය.

ඒ සමගම මීයන් ඇල්ල උඩරට දුම්රිය මාර්ගයෙන් මුළුමනින්ම සැඟව පවතී. එය සමීපයට යාමට නම් එම පර්වතයේ තනා ඇති ප්‍රපාත ගැට්ට මතට පිවිසිය යුතුය.


මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ ඇති බිංගෙවල් අතරින් මීයන් ඇල්ල බිංගෙය දිගින් දෙවැනි වන්නේ හැටන් දුම්රිය ස්ථානයට මඳක් ඔබ්බෙන් ඇති ඉංග්‍රීසීන් POOL BANK නමින් හැඳින්වූ සිංගිමලේ බිං ගෙයට පමණි. මීයන් ඇල්ල බිංගෙය දිගින් මීටර් 413.33 (අඩි 1307) කි. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෙස සැලකෙන අඩි දාහේ සමෝච්ච රේඛාව පසුකොට දුම්රිය "නිල වශයෙන්" උඩරටට පිවිසෙනුයේ ද මේ බිංගෙය පියැස්ස අද්දර දීම ය.

මීයන් ඇල්ල බිංගෙයට සමාන්තරව එම පර්වතයේ බෑවුම ඉස්මත්තේ පිහිටි පැරණි උඩරට දුම්රිය මාර්ගය වැටීගත් මීයන් ඇල්ල දුර්ගය ඔස්සේ ද මෙම චාරිකාවේදී අපි ගමන් කළෙමු.

ඒ අතීතයේ පෙරැළී සුන්බුන් බවට පත් දුම්රියවල කොටස් තවමත් එම ප්‍රපාතයේ වනගහනය තුළ සැඟව ඇතැයි ප්‍රදේශයේ ගැමියන් කී බසින් ඔද වැඩී ගත් කුතුහලයත්, උනන්දුවත් සමගිනි.


Monday, September 6, 2010

දුම්රිය මග හරහා හොරෙන් ගලන දිය ඇල්ල

බදුල්ල තෙක් වැටී ගත් උඩරට දුම්රිය මාර්ගය අශ්‍රිතව ලොකු කුඩා දර්ශනීය දිය ඇලි කිහිපයක් දක්නට ලැබේ.

එහෙත්, උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවේශය වන රඹුක්කන, කඩුගන්නාව අතර දී දුම්රියට එබඳු විශේෂ දිය ඇල්ලක් හමුවන බවක් පෙනෙන්නට නැත. නමුදු විස්මයට කරුණ එය නොවේ. අලගල්ල කඳු වැටියෙන් ඇරඹෙන ඉතා රමණීය දිය ඇල්ලක් දුම්රිය මගීන් කිසිවකුටත් නොපෙනෙන නොහැඟෙන සේ උඩරට දුම්රිය මාර්ගය හරහා සබරගමු නිම්නයට හොර රහසේම මාරු වී යාමය.

අද අප ලුහුබැඳ යන්නේ ඒ රහස් දිය ඇල්ලේ තොරතුරු පසුපසිනි.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට මඳක් මෙපිටින් නැතහොත් අගනුවර සිට කිලෝ මීටර් 93ක් දුරින් ගලා හැලෙන "මීයන් ඇල්ල" උඩරට දුම්රිය මාර්ගයෙන් සැඟවී ගලා බසින එම අපූරු දිය ඇල්ල ය.


එක්දහස් අටසිය හැටේ දශකය ආරම්භයත් සමග ඉංග්‍රීසීහු මහනුවර තෙක් දුම්රිය මාර්ගයෙන් කොටසක් අලගල්ල කඳු වැටියේ නිරිත දිග ප්‍රපාතාකාර බෑවුම අතරින් ඉදි කළහ. ඒ අනුව අදත් අගනුවර සිට කිලෝ මීටර් 91ක් පසු කළ තැන හමුවන අංක 5 බිංගෙය අද්දර දී අලගල්ල කන්දේ නිරිත දිග බෑවුමට පිවිසෙන උඩරට දුම්රිය ඒ ඔස්සේ කිලෝ මීටර් හතරහමාරක දුරක් ගොස් එම කඳු වැටිය පසුකරයි. ඒ ඉහළ කෝට්ටේ දුම්රිය පොළට මඳක් එපිට දී හක්ඔළුවාව ඔයේ රේල් බෝක්කුව පසු කිරීමත් සමගිනි. එම දුර ප්‍රමාණය තුළ අලගල්ල කඳු බෑවුම ඔස්සේ මීටර් 95 (අඩි 309) ක පමණ උසක් ඉහල නැගීමට දුම්රියට සිදුවෙයි. හක්ඔළුවාව ඔයේ රේල් බෝක්කුව ප්‍රදේශයේ උස මුහුදු මට්ටමින් මීටර් 340 (අඩි 1108) කි.

අංක 5 බිංගෙය හැරුණු කොට අලගල්ල කන්ද තරණයේ දී උඩරට දුම්රියට හමුවන ඊළඟ බිං ගෙය ඉහත සඳහන් මීයන් ඇල්ල හා සම්බන්ධ අංක 5 A දරන බිංගෙයයි. දුම්රිය මාර්ගය හරහා ගලා හැලෙතත් මීයන් ඇල්ල පිළිබඳ කිසිදු හෝඩුවාවක් දුම්රිය මගීන්ට නොදැනෙනුයේ එය බිංගෙයි පියස හරහා සබරගමු නිම්නය වෙත ගලා හැලෙන බැවිනි. මේ රහස දුම්රිය මගීන් තබා එම මාර්ගයේ දුම්රිය ධාවනය කරවන ඇතැම් රියැදුරෝ ද නොදනිති.

බදුල්ල තෙක් වන උඩරට දුම්රිය මාර්ගයේ මුළු බිංගෙවල් ගණන හතළිස් තුනකි. ඒ අතරින් අංකය මත ඉංග්‍රීසි A අකුර සහිත බිංගෙවල් ඇත්තේ දෙකක් පමණි. ඉන් උඩරට දුම්රියට හමුවන A අකුර සහිත මුල්ම බිංගෙය මෙම මීයන් ඇල්ල බිංගෙයයි.

මෙලෙස බිංගෙවල් සඳහා ඊට හිමි අංකය සමග A අකුරක් යොදන්නට හේතුවක් තිබේ. ඒ ඒවා දුම්රිය සමඟ තනා බිංගෙවල්වලට අංක ලබා දී දුම්රිය ධාවනය ඇරඹුණු පසු කිසියම් හේතුවක් මත දෙවනුව කණින ලද ඒවා වීම ය. ඒ අනුව මීයන් ඇල්ලේ ජල කඳින් රහසේ හිස පැන් වත්කර ගන්නා අංක 5 A දරන බිංගෙය ද පසු කාලීනව තනන ලද්දක් බව පෙනෙයි.

මහනුවර තෙක් දුම්රිය මග තැනීමේ දී ඉංග්‍රීසීන්ට මුහුණදෙන්නට සිදු වූ බරපතළම අභියෝගයක් වූයේ අලගල්ල කඳු බෑවුමේ පිහිටි මීයන් ඇල්ල පර්වතයයි. ගැඹුරු ප්‍රපාතයක් අද්දර පිහිටි එම පර්වතය මග හැර දුම්රිය මග තැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි විය. එබැවින් ඔවුහු ඒ කළු ගලේ කොටසක් ගල් වෙඩි දමා පුපුරුවා හැර සකස් කරගත් අඩි දහ අටක් පළල අඩි හයසියයක් පමණ දිග ප්‍රපාත ගැට්ටක් හෙවත් වේදිකාවක් මතින් දුම්රිය මග ඉදි කළහ. එහෙත් දුම්රිය මග තැනීමට තනා ගත් ගැට්ට හරහා වේගයෙන් කඩා හැලෙන මීයන් ඇල්ලේ ජල පහරින් එම කළු ගල් වේදිකාව මතින් වැටී ඇති දුම්රිය මාර්ගයට අනිසි බලපෑම් සිදුවිය හැකි බව ද ඉංග්‍රීසි ඉංජිනේරුවන්ට වැටහිණි.

ඒ අනුව ඔවුන් කළේ පර්වතයෙන් ගලා හැලෙන මීයන් ඇල්ල ජල ප්‍රවාහ දෙකක් වශයෙන් ගල මුදුනේදීම වෙන් කොට ඒවා එකිනෙකට සමීප ස්ථාන දෙකකින් එම ගැට්ට හරහා පහත ප්‍රපාතය කරා ගලා හැලෙන්නට සැලැස්වීම ය. එමෙන්ම එම දිය ඇලිවලින් දුම්රිය මග වැටී ඇති පටු තීරයට සිදුවන බලපෑම් අවම කිරීම පිණිස ඔවුහු එම ජල ප්‍රවාහ දෙක පහළට ගලා හැලීම සඳහා එම ගල් පර්වතයේ තරමක් ගැඹුරු කට්ට දෙකක් ද කැපූහ. එක් දහස් අටසිය හැටේ දශකයේ ඉදිකෙරුණු නුවර දුම්රිය මාර්ගයේ සුවිශේෂී ස්ථානයක් වන මීයන් ඇල්ල දුර්ගය නිර්මාණය වූයේ එලෙසිනි. මෙම දුර්ග මාර්ගය නිර්මාණයේ දී කම්කරුවන් සෑහෙන පිරිසක් ප්‍රපාතයට වැටීමෙන් සහ වෙනත් අනතුරු වලින් මිය ගියහ. තවත් පිරිසක් දරුණු තුවාල ලැබූහ. එය එතරම්ම දුෂ්කර, බිහිසුණු කාරියක් විය.


Thursday, September 2, 2010

නිදහස බලන්නට කන්දට නැගලා!

අතීතයේ මෙම අලගල්ල කඳුවැටියේ කුළුහරක් රංචු බහුලව දැකිය හැකි වූ බව අප හා කීයේ මේ ගමනේදී අපට හමු වූ හතරලියද්ද, ඉහළගම, අලගල්ලේ කොළණිය කඩේ පදිංචි ඩී.ජී. රන්බණ්ඩා මහතාය. මේ වන විට එම කුළුහරක් ගහණය ශීඝ්‍රයෙන් වඳ වී ඇති මුත් තවමත් අලගල්ල කන්ද උඩ ප්‍රදේශයේ දී කුළුහරකුන් ගැවසෙන බවට සාක්ෂි වශයෙන් ගොම ආදිය දක්නට ලැබෙන බව ඔහු කීය. "මේ පැත්තේ මිනිස්සු නිදහස් දවසට කන්ද නගින්න මුල් වුණු හේතුවක් ගැන නම් මම අහලා තියනවා. ඒත් ඒක පත්තරේක පළ කරන එක හරිද මන්දා. කොහොම වුණත් මේ විස්තරෙත් එක්ක මගේ නම ගම නම් ගාවන්න එපා." ජාතික නිදහස් දිනය හා අලගල්ලේ කඳු තරණය සම්බන්ධ වීම පිළිබඳ රහස සොයා ගනු නොහැකිව අධික ලෙස හෙම්බත්ව සිටි මොහොතක අපට මුණ ගැසුණු ප්‍රදේශයේ පාසලක සේවය කරන උපාධිධාරී ගුරුවරියක් කීවාය. "මම ගුරු පත්වීම් අරගෙන මේ පළාතට ආවේ අසූ හතරේ අවුරුද්දේ. මගේ ගම මාතර කිට්ටුව. මම මෙහේ ඇවිත් නතර වුණේ මේ පැත්තේ හිටපු පරණ මුල් ගුරුවරයකුගේ ගෙදර. 1948 අපිට නිදහස ලැබෙන කොට ඒ මුල් ගුරුතුමා මේ පැත්තේ පාසලක ශිෂ්‍ය ගුරුවරයෙක් හැටියට වැඩ කරලා තියනවා" එම ගුරුතුමිය සිසුන්ට ඉගැන්වීමේ දී යොදන පැහැදිලි ස්වරයෙන් පවසන අයුරු අපි නොඉවසිලිමත්ව අසා සිටියෙමු.

"ඔය අලගල්ල කන්දේ කොටසක් අයිති හතරලියද්ද පළාත ඉස්සර ප්‍රසිද්ධ වුණේ තුම්පනේ කියලා.


ඒ වෙනකොට තුම්පනේ කියන්නේ හුඟක්ම නොදියුණු පළාතක්. කොහොම හරි 1948 පෙබරවාරි හතරවැනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන හාහෝව රට පුරාම පැතිරිලා යන අතරේ මෙහේ තුම්පනේ මිනිසුන් ඒක දැනගෙන. ඒත් එදාට කොළඹ දී නිදහස ලැබෙනවා කියන දේ අහගෙන හිටියා මිසක් නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් දැන උගත්කමක් මේ පැත්තේ සමහර මිනිස්සුන්ට තිබිලා නැහැ. ඒ නිසා ඒ කාලේ තුම්පනේ ගම්මු පිරිසක් ලංකාවට නිදහස ලැබෙන හැටි අහම්බෙන්වත් දැක බලාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න හතළිස් අටේ අවුරුද්දේ පෙබරවාරි හතවෙනිදා උදේ පාන්දරම අලගල්ලේ කන්දට නැගලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම කොළඹ පැත්ත බලාගෙන ඉඳලා තියනවා. කොහොම හරි එදා හැන්දෑවේ ආපහු කන්දෙන් බහින ඒ මිනිස්සුන්ගෙන් වටපිටාවේ අය අහලා තියනවා හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද කියලා.

එතකොට තමයි කන්දට නැගපු අය කියලා තියෙන්නේ බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා අපි එහෙම නිදහසක් නම් අපේ උපන් හදවියකට දැකලා නැහැ කියලා. ඒ මුල් ගුරුතුමා කියපු විදිහට නම් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඔන්න මේ පළාත්වල සමහරු නිදහස් දවසට අලගල්ල කන්ද නගින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් පහුවෙනකොට ඒක ඉබේටම විනෝද කටයුත්තක් වෙලා." එම ගුරුතුමිය කීයේ අපගේ මන දොල මනාව සපුරාලමිනි.

අලගල්ල කන්දේ වගතුග



ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හෝ මොල්ලියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. එහෙත්, මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි.

මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. උඩටර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියපළට ඔබ්බෙන් යටිවල්දෙණිය දුම්රිය නැවතුම්පළ හමුවේ. එම දුම්රිය මගෙහි අංක 5 දරන බිංගෙය හමුවන්නේ ඉන්පසුවය. ප්‍රදේශවාසීහු ඊට හේන්පොළ බිංගෙය නැතහොත් කදුරාගෙඩිය බිංගෙය යයි කියති. උඩරට දුම්රිය මාර්ගයේ 91 වන කිලෝ මීටර් කණුව එම බිංගෙයෙහි පියැස්ස අද්දරම දැකිය හැක. මීටර් 218 (අඩි 710) ක දිගකින් යුතු වංගු සහිත මෙම බිංගෙය අලකන්ද කන්දේ පාදමෙහි පිහිටා ඇත. කන්දේ නිරිතදිග බෑවුමේ ඇති හරස් කැපුමක් බඳු දුම්රිය මග ඔස්සේ උඩරට දුම්රිය අලගල්ල කන්ද තරණය කරන්නේ එතැන් සිටය. දුම්රිය අලගල්ල කන්ද නැගීම අරඹන ස්ථානයේ උස මුහුදු මට්ටමින් මීටර් 245 (අඩි 800ක්) පමණ වෙයි.

අන් දිනවල කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරි 04 දාට පමණක් දහස් ගණන් ප්‍රදේශවාසීහු මෙම අලගල්ල කඳුවැටිය තරණය කරති. ඒ අපූරු හේතුවක් මතය. එනම් නිදහස භුක්ති විඳිනු පිණිසය. එහෙත් 1948 පෙබරවාරි 04 දා අපට ලැබුණු ජාතික නිදහස අලගල්ල නැගීමෙන් භුක්ති විඳීමට ලැබෙනුයේ කෙසේ දැයි මට නම් සිතාගත නොහැක. අඩුම ගණනේ ඒ මත නිදහස් උත්සවයක්වත් නොපවත්වන ඔවුහු කන්දට නැග කා, බී විනෝද වී ආපසු පහළ බසිති.

මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි. ඉහත සඳහන් ප්‍රදේශවලින් සහ පිට ප්‍රදේශවලින් සෑම වසරකම පෙබරවාරි හතර වනදාට අලගල්ල කන්ද තරණය කරන පිරිස පන්දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ තරුණියන් බව ද දැනගන්නට ඇත. අලුයම හිරු උදාවත් සමග කඳු නැගීම අරඹන ඔවුන් යළි පහළට බසිනුයේ රාත්‍රී අඳුරත් සමගිනි. එමෙන්ම ඒ අතුරින් කොටසක් කූඩාරම් සහ ගිනිමැල ගසා එදින රාත්‍රියත් කන්දේම ගත කරති.

ජාතික නිදහස් දිනයේ නිදහස භුක්ති විඳිනු පිණිස එදින අලුයම සිට ප්‍රදේශවාසීන් අලගල්ල තරණය කරන මාර්ග හයක් පමණ තිබේ. ඒවා අතරිනුදු ප්‍රධාන මාර්ග දෙකකි. ඒ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ඉහළ කෝට්ටේ හරහා අලගල්ලවත්ත මාර්ගය සහ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණික්දිවෙල පොත්තපිටිය හරහා වන පාරවල් පහ, ගල්තුන මාර්ගයයි. මේ අතරින් පොත්තපිටිය මාර්ගය ඔස්සේ අලගල්ල මුදුනට පිවිසීමට අඩි එක්දහස් හත්සියයකට වැඩි උසක් තරණය කළ යුතුය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කන්ද තරණය කිරීමේ දී අඩි දෙදෙහස් පන්සියයක පමණ උසක් ඉහළ නැගිය යුතු වෙයි.

උඩරට දුම්රිය මාර්ගය අලගල්ල ගිරි ශිඛරයට වඩාත්ම සමීප වන්නේ අගනුවර සිට කිලෝ මීටර් 94.4 දුරින් පිහිටා ඇති ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අද්දරිනි. අලගල්ල කඳු බෑවුමේ පිහිටා ඇති එහි උස මුහුදු මට්ටමින් මීටර් 322.17 (අඩි 1050) කි.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කන්දේ නිරිතදිග පිහිටි ප්‍රපාතාකාර බෑවුමේ පිහිටීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් කිසිම දිනයෙක එම දුම්රිය ස්ථානය වෙත මෝටර් රථයකින්, ත්‍රීරෝද රථයකින් තබා පා පැදියකින්වත් යා නොහැක. ඉහළ කෝට්ටේ ගම්මානය පිහිටා ඇත්තේ දුම්රියපළින් අඩි 500 ක් පමණ පහළිනි. ඒ අනුව එහි සිට දුම්රියපළ හරහා අලගල්ල කන්දේ මුදුනට ඇති උස අඩි තුන්දහසකි. එය නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට ඇති උසට සමානය.

අලගල්ලේ උසම ශිඛරය ප්‍රදේශවාසීන් වෙතින් නම ලබා ඇත්තේ කොඩිගල යනුවෙනි. ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ. කොඩිගල හෙවත් අලගල්ල මුදුනට නැගීමට ස්වභාවික කපොලු දෙකකි. ඉන් ප්‍රධාන කපොල්ල සිංහ කට යනුවෙනි. ඒ කපොල්ල සිංහයකුගේ මුවක හැඩයෙන් යුතු යැයි ගැමියෝ කියති. පර්වතයේ ස්වභාය අනුව එම කපොලුවලට බැහැරින් එහි ශිඛරය වෙත පිවිසිය නොහැක. ඒ අලගල්ල පර්වතයේ ඇති බෑවුමෙහි ශීඝ්‍රතාවය නිසාය.

ජාතික නිදහස් දිනයේ අලගල්ල කන්දට නගින දහස් ගණන් ජනයා එහි මුදුනේ සිට කටුසු කොන්ද හෙවත් රූටන ගල පසු කොට ඊට කිලෝ මීටර් එකහමාරක පමණ නිරිතදිගින් පිහිටි පූජාගලට පිවිසීමට ද අමතක නොකරති. එම ශිඛරය මත මෑත අතීතයේ කොටන ලද ශ්‍රී පාද ලාංඡනයක් දැකිය හැක.

එහෙත් පූජා ගල මත දී සිදු කෙරෙන පුද පූජාවක් ගැන නම් අසන්නට නැත. ඒ කෙසේ හෝ මෙම අලගල්ලේ කඳු මුදුනේ හෙවත් කොඩිගලේ සිට අප රටේ සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් සෑහෙන කොටසක් නිරාබාධිතව දැකබලාගත හැක. ඒ බව අප හා කීයේ මෙම පා ගමනේ දී අපට හමු වූ මැණික්දිවෙල, පොත්තපිටියේ සරත් දිසානායක මහතාය. එමෙන්ම මිහිඳුමින් තොර පෙබරවාරියේ අලගල්ල කඳු මුදුනේ සිට හන්තාන කන්ද, අම්බුළුවාව, බතලේගල, උතුවන්කන්ද මාතලේ රත්තොට කඳු, නකල්ස් සහ දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල, මාවනැල්ල, වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයක් පියවි නෙතින් දැක බලාගත හැකි බව ද ඔහු කීය. මෙම අලගල්ල ශිඛරයේ සිට සහ පූජාගල මුදුනේ සිට බලන අයකුට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා දුම්රිය පහත ප්‍රපාතයේ තුරුලිය අතරින් රතු පැහැති පණුවකු මෙන් සෙමින් ඇදී යනු තැනින් තැනින් දක්නට ලැබේ. ඊට අමතරව අලගල්ල කන්දෙන් නික්මෙන දුම්රිය ඒ ආසන්නයේ ඇති මොටන කන්ද හරහා ගමන් කරන අයුරු ද අලගල්ල කඳු මුදුන්වලට කදිමට පෙනෙයි.