Monday, August 30, 2010

නිවැරදිකරුවෝ අත්අඩංගුවට

මඳ වේලාවකින් කැබැල්ලවත්ත රේල් බෝක්කුව දෙසින් මහා පිපිරුම් හඬක් ගැමියන්ට ඇසුණි. ඒ සමගම ලොකු දුමක්ද අහස්ගත විය.

"හරි, දැන් ඉතින් කෝච්චි ගිහින් ඉවරයි. මීට පස්සෙ අපිට රේල් පාරෙත් මයියොක්කා හිටුවන්න තමයි වෙන්නේ" චේ ගුවේරා භීෂණයෙන් මනැස් හිරිවට්ටා ගෙන අහුමුළුවල සැඟවී සිටි ගැමියෝ එකි'නෙකාට එසේ මුමුණා ගත්හ.



ඉන්පසු හාත්පස පැවතියේ තීව්‍ර නිහැඬියාවකි. ඒ අනුව සිදුව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලයෙන් යුතුව නිවෙස් තුළින් හෙමි හෙමින් එළියට පැමිණි පිරිසට ඒ. එම්. ජයසූරිය නම් කොලු ගැටයාද එකතු විය. නමුත් චේ ගුවේරාකාරයන් වහසි බස් දෙඩූ අන්දමට රේල් බෝක්කුව පුපුරා විනාශ වී ගොස් නැත. එය කලින් තිබූ අයුරින්ම තිබේ. එහෙත්, එම පිපිරීම නිසා බෝක්කුව මැද තරමක සිදුරක් හටගෙන ඇත. එනිසා පුංචි පහරකට ඇත්තේ බෝක්කුව යට මහ පාරට වී උඩ බලාන් විට ඒ සිදුරින් අහස පෙනීම පමණි. මඳ වේලාවකින් නුවර දෙස සිට පැමිණි දුම්රිය ඇන්ජිමක් බෝක්කුව අද්දර නතර වනු ගැමියන්ට පෙනිණ. එහි ඉදිරිපස පිටුපස සහ දෙපස 'කැට් වෝක්' නමින් හැඳින්වෙන කොටසේ අවි දැරූ යුද සෙබළු විස්සක් පමණ සිටි බව ජයසූරියටද මතකය. එන්ජිම බෝක්කුව අද්දර නතර කරත්ම එහි සිටි සෙබළු ඉවක් බවක් නොමැතිව ඒ මේ අතට වෙඩි තබන්නට වූහ. එහෙත් බෝක්කුව යට හෝ අහල පහල සිටි ගැමියන් ඔවුන්ගේ ඉලක්කය නොවූ බව කාටත වැටහිණ. නමුදු ඒ වන විටත් බෝක්කුව පුපුරවා හරින්නට වෙර දැරූ චේ ගුවේරාකාරයෝ අන් කිසිවකුට තම සුළඟක්වත් හසු නොවන සේ අතුරුදන්ව සිටියහ.


හුම් රිය එන්ජිම ආපසු මහනුවර දෙසට නිකම ගොස් මඳ වේලාවකින් රඹුක්කන සිට එතැනට පැමිණියේ ලෑන්ඩ් රෝවර් වර්ගයේ පොලිස් ජීප් රථයකි. ඒ වන විට එතැන ගම්මුන් සෑහෙන පිරිසක් රැස්ව සිටි අතර ජීප් රථයෙන් බැසගත් පොලිස් නිලධාරීහු ඉන් තුන් දෙනෙකු අල්ලා ගත්හ.

"තොපි නේද මේ බෝක්කුව පුපුරවන්න හැදුවේ, බොරු කියලා බේරෙන්න විතරක් එපා. යමව්, තොපිට බෝක්කු පුපුරවන හැටි කියලා දෙන්න." අල්ලා ගත ගැමියන්ට එසේ ගෝරනාඩු කළ පොලිස් නිලධාරීන් අතින් පයින් සංග්‍රහ කොට ඔවුන් ජීප් රථයට නංවාගත්තේ ඒ අහිංසක ගැමියන්ට එක වදනකුදු කතා කිරීමට ඉඩ නොතබමිනි.



බී.පී. මුදියන්සේ, කේ.ජී. ජේමිස් සහ යූ.එච්. මුදියන්සේ හෙවත් ලොක්කයියා යන ගැමියෝ තමන් සිහිනයකින් වත් නොදුටු සාපරාධී වරදකට එදින එසේ පොලිස් අත්ඩංගුවට පත්වූහ. ඉන් ලොක්කයියා ඉතා මෑත දිනයෙක සදහටම මෙලොවින් සමුගත් බවද මේ චාරිකාවේ දී අපට දැනගන්නට හැකිවිය.


කෙසේ නමුදු එම පිපිරවීම සඳහා යොදා ගැනුණු මනෝසීල, පොටෑසියම්, ගෙන්දගම් සහ වෙඩිලුණු සංයෝගයේ අක්‍රමවත් බව නිසා එම පිපිරවීම සාර්ථක නොවූ බව පසුව අනාවරණය විය. එමෙන්ම ඔවුන් එම රසායනික ද්‍රව්‍ය පැහැරගෙන තිබුණේ ප්‍රදේශයේ පාසල්වල රසායනාගාරවලින් බවද තහවුරු විණි. එනිසා ඉන්පසු පාසල් රසායනාගාරවලට මනෝසීල නම් රසායනිකය ලබා දීමද අධ්‍යාපන අමාත්‍යංශය මගින් මුළුමනින්ම අත්හිටුවන ලදී. එහෙත් ඒ බෝම්බ පිපිරීමෙන් කැබැල්ලවත්ත බෝක්කුව සිදුරුවීම මිස එහි සවිමත් බවට කිසිදු හානියක් වී නොමැති බව හනික තහවුරු විය. එබැවින් එම බෝම්බ සිදුරු කොන්ක්‍රීට් දමා වසා යළි අප්‍රමාදවම දුම්රිය ධාවනය අරඹන ලදී. පසුව ඒ මතින් දිවෙන දුම්රියේ බර තවදුරටත් බෝක්කුවට නොදැනෙන සේ වානේ පීලි අතුරා ඒ මතින් දිවෙන දුම්රිය මග පිහිටි පොළොව හා සම්බන්ධ කොට වඩාත් සවිමත් කෙරිණ. ඒ අනුව අද යම් හෙයකින් දුම්රියක් ධාවනය වන අතරේ කැබැල්ලවත්ත බෝක්කුව හදිසියේ කඩා වැටුණ ද ඒ මතින් දිවෙන උඩරට දුම්රියට ඉන් කිසිදු අපල උපද්‍රවයක් ඇති නොවේ.

රේල් බෝක්කුව මත 'විප්ලවයක්'

බැලූ බැල්මට කාගේවත් විශේෂ අවධානයට යොමු නොවන කැබැල්ලවත්ත රේල් බෝක්කුව පිහිටා ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 88 ක් දුරිනි. නොඑසේ නම් කඩිගමුව දුම්රිය පළට කිලෝමීටරයකටත් අඩු දුරක් මෙපිටිනි. බෝක්කුවක් යට බොහෝ විට දැකිය හැක්කේ ජලපාරකි. එහෙත් කැබැල්ලවත්ත රේල් බෝක්කුව යට ඇත්තේ මහ පාරකි.

රඹුක්කන සිට කැබැල්ලවත්ත තෙක් දිවෙන මහා මාර්ගය උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් 54 1/4 කණුව අද්දරදී තුන්මංහන්දියක් නිර්මාණය කරමින් දෙකට බෙදෙයි. ඒ රඹුක්කන හතරලියැද්ද හා රඹුක්කන මාවනැල්ල මාර්ග වශයෙනි. කැබැල්ලවත්ත රේල් බෝක්කුව යටින් වැටී ඇත්තේ එතනදී බෙදී වෙන් වන මාවනැල්ල තෙක් වැටී ගත් බී 385 මහා මාර්ගයයි.

කැබැල්ලවත්ත හරහා වැටී ගත් මාවනැල්ල මාර්ගය ඉතා දිගු රමණීය ඉතිහාසයක් තිබේ. පැරණි සත් කෝරළයේ සහ සතර කෝරළයේ සිට කෘෂි නිෂ්පාදන ඇතුළු වෙළෙඳ භාණ්ඩ කන්ද උඩරට රාජධානිය තෙක් තවලම් මගින් ප්‍රවාහනය කොට ඇත්තේ මෙම මාර්ගය ඔස්සේය. ඉන්පසුව 1863 වසරේදී පමණ උඩරට දුම්රිය මාර්ගය තැනීමේදී එම ප්‍රදේශයේ විශාල පස් පිරවුමක් කළ ඉංග්‍රීසීහු එම පැරණි මාර්ගය තව දුරටත් සුරක්ෂිත වන සේ රේල් බෝක්කුවක් ඉදිකොට ඒ මතින් උඩරට දුම්රිය මග තනා තිබේ. මෙම බෝක්කුව උඩින් දුම්රියද එය යටින් වාහන සහ මගීන්ද අද දක්වාම නිරුපද්‍රිතව ගමන් කරනුයේ ඒ අනුවය.

දිනය 1971 මැයි මස 07 දාය. පත්තම්පිටිය, කඩිගමුව ප්‍රදේශයේ කාන්තාවක වන ඩබ්ලිව්. එම්. අනුලාවතී මැණිකේ එදින් උදෙන්ම ලහි ලහියේ පත්තම්පිටියේ සමූපකාරය වෙත ගියාය. ඒ තම ගෙදරට උවමනා ආහාර කළමනා කඩිනමින් එක්රැස් කර ගැනීම පිණිසය. ඊට හේතුව ඉන් දෙදිනකට පෙර සිට එනම් අප්‍රියෙල් 05 දා සිට "චේ ගුවේරා කල්ලිය" නමින් හැඳින්වුණු ආයුධ සන්නද්ධ තරුණ පිරිස් රටම බිය වද්දමින් හා පොදු දේපළ වනසමින් ආණිඩු බලය අල්ලා ගන්නට දරන වෑයමින් මුළු ප්‍රදේශයම ගිනිගෙන තිබූ නිසාය.

1971 කැරැල්ලේදී 'චේ ගුවේරා කල්ලිය' නමින් හංවඩු ගැසුණු ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්ගේ මෙම ක්‍රියාකාරකම්වල ප්‍රබලත්වය කැබැල්ලවත්ත රේල් බෝක්කුව අයත් කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අන්දම පිළිබඳව එකල කෑගල්ල මහ දිසාපතිව සිටි කේ.එච්.ජේ. විජේදාස මහතාගේ 'පහන් සංවේගය' කෘතියෙහි මෙසේ සඳහන්ව ඇත.

"භීෂණය අතින් කෑගල්ල දිස්ත්‍රික්කය ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. මේ තත්තවය කොතරම් දැයි කිවහොත් කැරැල්ල පැවති අවධියේ කෑගල්ල මූල්ස්ථාන පොලිසිය හැර දිස්ත්‍රික්කයේ අනෙකුත් පොලිස් ස්ථාන දහහතරටම පහර දුන් කැරලිකරුවෝ ඒවායේ තිබුණු ආයුධ සියල්ල පැහැර ගත්හ. පොලිස් ස්ථාන තුනක් ගිනිබත් කළහ. දිස්ත්‍රික්කයේ සියලු පොලිස් ස්ථාන තාවකාලිකව වසා දමනු ලැබීය. පොලිස් නිලධාරීහු කෑගල්ල මූලස්ථාන පොලිසියට වාර්තා කළහ. කැරැලිකරුවෝ රාත්‍රී කාලයේ ඔවුන් අල්ලාගත් පොලිස් ස්ථානවල ලැඟුම් ගත්හ.

එසේම දුරකථන මාර්ග, විදුලි රැහැන් සහ ට්‍රාන්ස්ෆෝමර් බොහොමයක් විනාශ කිරීම නිසා දුරකථන සහ විදුලි බලය ඇනහිට තිබුණි. රාත්‍රී කාලයේ දිස්ත්‍රික්කය පුරාම පැතිරී ගිය අන්ධකාරය සහ නිහැඬියාව බිය උපදවන සුලුවිය."

කෙසේ හෝ පත්තම්පිට්ය සමූපකාරයට ගිය අනුලාවතී මැණිකේ නැවත එනවිට කැබැල්ලවත්ත රේල් බෝක්කුව උඩ අලි ජරමරයකි. කිසියම් තරුණ පිරිසක් බෝක්කුව මත දුම්රිය පාරේ ඇති සිල්පර කොට අතරේ ගල් ඉවත් කරමින් හනි හනික යමකට සැරසෙති. ඔවුන්ගේ මෙම ක්‍රියාව කුමක් දැයි සිතාගත නොහැකි ගැමියෝ බෝක්කුව යට පිහිටි මහා මාර්ගය අද්දර සහ ඒ සමීපයේ ඇති සොහොන් පිටියට වී ඇස් දල්වා බල හිඳිති. එම තරුණයගේ ආරක්ෂාවට ඒ අවට සැරිසරන තුවක්කුකරුවන් කිහිප දෙනෙකි.

"මේ අධිරාජ්‍යවාදී ගැති ධනේෂ්වර ආණ්ඩුව විනාශ කරලා අපේ මව්බිමේ උරුමය ප්‍රගතිශීලීන් අතට ගන්නයි අපි මේ හදන්නේ, අපි දැන් මේ රේල් බෝක්කුව පුපුරවලා දැම්මම උඩරටට කෝච්චි ගිහින් ඉවරයි. මේ ක්‍රමයෙන් විතරමයි මේ අධිරාජ්‍යවාදී ගැති ධනපති ක්‍රමය භංග කරන්න පුළුවන්. උඹලා මේ කිසිම දේකට විරුද්ධ වුණොත් අපි උඹලාවත් ද්‍රෝහීන් හැටියට සලකලා බල්ලෝ වගේ වෙඩි තියලා මරලා දානවා." එම චේ ගුවේරා පිරිසේ නායකයා ලෙස සැලකිය හැකි තරුණයකු දෑත් ඉහළට ඔසවමින් හා ගිරිය පුප්පමින් කෑගැසුවේ එම සිදුවීම දෙස විමතියෙන් හා කුතුහලයෙන් බලා සිට ගැමියන්ගේ සිත් තුළට ක්ෂණික මරණ බියක් ද පිවිසුවමිනි. මහත් උද්වේගයෙන් පසුවන මේ චේ ගුවේරා කල්ලිය ඉදිරියේ නිකම් ඔළුව කඳ බඩ ප්‍රදර්ශනය කිරීමද බිහිසුණු ප්‍රතිඵල ගෙන දෙන්නක් බව වටහාගත් ගැමියන්ගෙන් වැඩිදෙනෙක් හීන් සීරුවේම එතැනින් මාරු වී ගියහ.


Thursday, August 26, 2010

කන්සලගමුවෙන් තෙල්උල්පත්

රඹුක්කන කිරිවල්ලාපිටිය පසු කළ විට උඩරට දුම්රිය මාර්ගයේ හමුවන ඊළඟ ගම්මානය කන්සලගමුවයි. කුඹුරු යායක් මැදි කොට තනා ඇති වේල්ලක ආකාරයේ විශාල පස් පිරවුමක් මත මේ ගම්මානය ඔස්සේ ඉංග්‍රීසීන් උඩරට දුම්රිය මග තනා තිබේ. මෙම කුඹුරු යාය පිහිටි ප්‍රදේශයේ අතීතයේ වැවක් තිබූ බවට ජනප්‍රවාදයක් පවතී.


ඒ වැව ආශ්‍රිතව පැරණි රජ කෙනකු විසින් තැන්පත් කරන ලද මහා ධන නිධානයක් ඇතැයි පැරැන්නෝ කියති. ඊට සම්බන්ධ සලකුණක් ලෙස පැරණි කන්සලගමුව වැවේ රන්තෝඩු පැළඳි ආඳකු එකල ගැමියන්ට දර්ශනය වූ බවටද ජනප්‍රවාද කිහිපයක් අදත් ප්‍රදේශයේ පැතිර පවතී.


එම ආඳාගේ රන් තෝඩු සහිත කන් සෙලවීමේදී මිහිරි හඬක් නැගුණු අතර, ඒ හඟ ඇසුණු ප්‍රදේශය පසුව කන්සලගමුව නමින් හැඳින්වුණු බවත් අදත් ඇතැමෙක් කියති. එහෙත් මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන ආඳන්ට කන් පිහිටා නැත.


නමුදු මේ අද්භූත ආඳකු බැවින් එලෙස කන් පිහිටා තිබුණා වන්නටද පුළුවන.


කෙසේ හෝ රන් තෝඩු පැළඳි ආඳෙකු පිළිබඳ මෙබඳුම ජනප්‍රවාදයක් අඹේපුස්ස යන්තල්ගොඩ යා කොට වැටී ගත් යකඩ දුම්රිය පාලම ආසන්නයේ පිහිටි රත්තරන් හේන ප්‍රදේශයෙන්ද අසන්නට ලැබේ. මෙලෙස රන් තෝඩු පැළඳි ආඳන් දර්ශනය වනුයේ ඒ අශ්‍රිතව මහා ධන නිධාන පවතින බවට ඇඟවෙන ගුප්ත ලකුණක් ලෙසිනැයි ඒ ප්‍රදේශයේ පැරණි ගැමියෝද විශ්වාස කරති.


ඒ කෙසේ වෙතත් අද වන විට එදා කන්සලගමුවේ සිට කන් සෙලවූ ආඳා තබා ඌ ජීවත් වූ බව පැවසෙන වැවේ සලකුණකුදු සොයාගත නොහැක. එබැවින් ඒ ආශ්‍රිතව තිබූ බව පැවසෙන නිධානයට කුමක් විණිදැයි අපි නොදනිමු. නමුදු කන්සලගමුවට යාබද ගම්මානයද 'ආඳාපාන' යනුවෙන් අදටද හැඳින්වීමෙන් අපට හැඟීයන්නේ මෙම ආඳා සම්බන්ධ වෘතාන්තවල ඉතා වැදගත් මානව විද්‍යාත්මක පදනමක් ඇති බවය.


රඹුක්කනින් පසු උඩරට මාර්ගයේ හමුවන ඊළඟ දුම්රිය පළ කඩිගමුවය.


කොළඹ සිට කිලෝ මීටර් 88.5 දුරින් පිහිටි කඩිගමුව දුම්රියපළ මුහුදු මට්ටමින් මීටර් 192.2 උසින් පිහිටා තිබේ. රඹුක්කන සිට කඩිගමුවට කිලෝමීටර් පහකට මඳක් වැඩි දුරක් ඇත.


ඒ දුර පසු කර ගෙන රඹුක්කන සිට කඩිගමුව දක්වා පැමිණෙන දුම්රියකට මීටර් හැත්තෑපහකටත් වැඩි උසක් ඉහළ නගින්නට සිදුවෙයි.


උඩරට දුම්රිය මාර්ගයේදී මුලින්ම හමුවන අංක 2,3 සහ 04 යන බිංගෙවල් තුන පිහිටා ඇත්තේ රඹුක්කන හා කඩිගමුව අතරය. දුම්රිය දෙපාර්තමේන්තුව මේවාට ඉහත සඳහන් අංක දී තිබේ. එහෙත් ගම්මුන් මේවා හඳුන්වනුයේ ඒවාට විශේෂිත නම්වලිනි.


ඒ වැලිබිංගේ, කොටබිංගේ සහ වැල්කාර බිංගේ යනුවෙනි.


කොලඹ සිට පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ඉන්ධන ටැංකි කිහිපයක් 1984 ජූලි 24 දින අලුයම යාමයේ මෙම වැල්කාර බිංගෙය නුදුරේදී පෙරළී ගියේය.


ඒ අනතුර සිදු වූ ස්ථානයට කොළඹ සිට දුර කිලෝ මීටර් 87.5 කි.


කිරිවල්ලාපිටිය පසු කරත්ම කන්සලගමුවේ නිල්වන් තුරුගොමු අතරට පිවිසෙන උඩරට දුම්රිය මාර්ගය මෙම ප්‍රදේශයේදී වැටී ඇත්තේ වම් පසින් දිස්වන බෑවුමක ඉහත්තාවෙනි.


උඩරට දුම්රියේ වම්පස අසුනක ගමන් කරන අයකුට ඒ බෑවුමේ පිහිටි රඹුක්කන හතරලියද්ද සහ රඹුක්කන මාවනැල්ල මහා මාර්ග වෙන්වන කැබැල්ලවත්ත හන්දිය අපූරුවට පෙනෙයි.


එම අනතුරින් දුම් රියේ ඉන්ධන ටැංකි කිහිපයක් පෙරැළී ගියේ රුපියල් කෝටි ගණනක් ඉන්ධන සම්භාරයක් නිකරුණේ මහ පොළොවට මුසු කරමිනි. එමෙන්ම එම ඉන්ධන ගලා යාම නිසා බෑවුමේ පිහිටි මහාමාර්ගයේ ප්‍රවාහන කටයුතුද තාවකාලිකව අඩාල විය. එහෙත් එසේ ගලා ගිය ඉන්ධන සියල්ල අවසානයේ තැන්පත් වූයේ මහා මාර්ගයෙන් පහළ කුඹුරු යායෙහිය. ඒ එම ප්‍රදේශයේ ගැමියන්ට කැබැල්ලවත්තෙන් තාවකාලිකව 'ඛනිජ තෙල් ඉල්ලමක්' ද පාදා දෙමිනි.


ඒ අනුව පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් ආදී වශයෙන් වෙන්ව හඳුනා ගත නොහැකි මේ අපූරු තෙල ලියැදිවලින් හිතේ හැටියට බඳුන්වලට පුරවා ගෙන ගිය ගැමියෝ ඉතා දිගුකාලයක් ඒවා ප්‍රයෝජනයට ගත්හ. එමෙන්ම එම තෙල් තොගය සිඳී ගිය පසුද ඔවුනට පාඩුවක් සිදු නොවිණි.


ඒ ඉන්පසු එම ලි‍යැදිවල වළවල් කැපීමේදී ඒවා තුළින්ද අර අපූරු තෙල තවදුරටත් මතු වී ඒම නිසාය.


ඉන්ටසිටි ඛේදවාචකය

2002 වසරේ ජනවාරි 13 වන ඉරිදාව මඟුල් නැකත් දිනයකි. එබැවින් අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ පාදම ලෙස ගැනෙන රඹුක්කන කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ නිවසක එදින ජයටම මඟුල් කෑමක් සංවිධානය වෙමින් තිබිණි.

වේලාව පෙරවරු හත හමාර පසුවූවා පමණි. තුනී මිහිදුම් පටලයකින් වැසී තිබූ කිරිවල්ලාපිටිය වෙල් එළිය මැදි කරගත් දුම්රිය පාර දෙසින් එක්වරම මහා ගොරබිරම් හඬක් අහස් ගතවිය.

ඒ සමගම අවට ගැමියනට අසන්නට ලැබුණේ මිනිසුන් සිය ගණනකගේ මර විලාපයකි.

ඒ අනුව තම විලිබිය හැරුණු කොට අන් සියල්ල අමතක කළ කිරිවල්ලාපිටිය ගැමියෝ හනික එදෙසට දිව ගියහ. එවිට ඔවුනට දැක ගත හැකිවූයේ මහනුවර සිට කොළඹ බලා දිවෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ සියලුම මැදිරි විවිධ ආකාරවලින් වෙලට පෙරැළී ඇති බවකි. එයට සම්බන්ධව තිබූ එම් 6 පන්තියේ 788 දරන දුම්රිය එන්ජිම පමණක් කිරිවල්ලාපිටිය රේල් ගේට්ටුව පසුකොට මද දුරක් ගොස් නිරුපද්‍රිතව නතර වී තිබිණි.

එම දුම්රිය අනතුර සිදු වී විනාඩි කිහිපයක් තුළ එම ස්ථානයට දහස් ගණන් ජනයා රැස්වූහ. වෙලට පෙරැළී ගිය දුම්රිය මැදිරි තුළ සිරවී අන්ත අසරණව සිටි මගීන් ඉන් පිටතට ගැනීමේ 'ක්ෂණික පොදු ජන මෙහෙයුම' ඒ මොහොතේම ඇරඹිණි. එම මගීන් අතර රුධිරය ඉහින් කනින් නාගත් වුන් බාහිර තුවාල නැතත් අත් පා කැඩී බිඳීම්වලට ලක්වූවන්, සිහිවිසඥවූවන් සේම ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටි මගීහුද වූහ.

මංගල උත්සවය සඳහා සැරසුණු වීඩියෝ කැමරා ශිල්පීන් එම අනතුර සිදුවී විනාඩි කිහිපයක් තුළ එහි පැමිණි අතර මෙම සිද්ධියේ ඇති ප්‍රවෘත්තිමය වැදගත්කම ඔවුහුද එසැණින් වටහා ගත්හ.

මංගල උත්සවය රූප ගත කිරීමට රැගෙන ආ තම වීඩියෝ කැමරාවලින් එම දැවැන්ත ඛේදවාචකය, මළගම වීඩියෝ ගත කිරීමට ඔවුනට සිදුවූයේ එබැවිනි.

කඩුගන්නාව සිට රඹුක්කන තෙක් වැටී ගත් ශීඝ්‍ර බෑවුම් මාර්ගයේ බලන සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි මාකෙහෙල්වල දුම්රිය නැවතුම අද්දරදී දුම්රියේ ප්‍රවේගික තිරිංග (Dynamic Break) අක්‍රිය වී එතැන් සිට දුම්රිය කට්ටලය අධික වේගයකින් පහළට ඇදී ආ බව පසුව එහි රියැදුරු කේ.එල්. රංජිත් කළ ප්‍රකාශයෙහි සටහන් විය.

එම බිහිසුණු දුම්රිය අනතුරින් එහි ගමන් කළ මගීහු පහළොස් දෙනෙක් මිය ගියහ. මගීහු දෙසීයක් පමන බරපතළ තුවාල ලැබූහ.

රියැදුරුගේ ප්‍රකාශය එසේ වුවත් මෙම අනතුරට හේතුව දුම්රියේ යාන්ත්‍රික දෝෂයක්ද නැතහොත් එහි තිරිංග සඳහා යෙදූ උපාංගවල බාල බවක්ද එසේත් නැතහොත් එහි රියැදුරුගේ අපරීක්ෂාකාරී බවද යන්න පිළිබඳ පසුව නොයෙක් තර්ක විතර්ක ඇතිවිය.

නමුදු එම නතුර සම්බන්ධයෙන් තමන් සහමුලින්ම නිවැරදි බවත්, සිය වැරදි වසන් කර ගැනීමට ඒවාට වග කිවයුතු විවිධ පාරශවයන්ගෙන් තමන් වෙත එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් එහි රියැදුරු කේ.එල්. රංජිත් පුන පුනාම කීය.

පසුව ඒ චිත්ත පීඩාව පවතින අතරේම හටගත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය උග්‍රවීමෙන් ඔහු අකල් මරණයකට ලක්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනකි. කෙසේ හෝ එම දුම්රිය ඛේදවාචකය සිදු වූ කිරිවල්ලාපිටිය දුම්රිය හරස් පාර අද්දරින් ඇතැම් රාත්‍රී කාලයන්හි අද්භූත විලාප හඬවල් ඇසෙන බවටද ඒ ප්‍රදේශයේ ගැමියන් අතර මෙම අනතුරින් පසු විවිධ ආරංචි පැතිරිණි. නමුදු මෑතක දී නම් එබඳු විලාප හඬකට සවන් දුන් කිසිවකු ඒ ප්‍රදේශයේ නැත..




Tuesday, August 24, 2010

1:50 බෑවුමක්

රඹුක්කන සිට කඩුගන්නාවට ළඟාවීම සඳහා උඩරට දුම්රිය මහත් වෙරවීරියක් දරමින් මහනුවර සානුවට බටහිර දෙසින් පිහිටි උස් කඳු තුනක්ම තරණය කරයි. සබරගමු පළාතේ උතුරු මායිමේ පිහිටි අඩි දහස් ගණන් උස්ව නැගී ගත් අලගල්ල, මොටන සහ වෙරළුගොල්ල - මොරගොල්ල යන කඳු අතරින් දුම්රිය ඇදී යන්නේ බැලූ බැල්මට සියොළඟ කිළිපොලන ශීඝ්‍ර ප්‍රපාත ගැටි ද පසු කරමිනි.

මේ කඳු තරණය සඳහා රඹුක්කන සිට කඩුගන්නාව අතර නැග්ම සාමාන්‍යයෙන් අඩි 1.50 වන පරිදි දුම්රිය මග තනා තිබේ. මේ නැග්ම කොතෙක් ශීඝ්‍රාකාර ද යත් ලෝකයේ නිෂ්පාදිත අති නවීන දුම්රිය එන්ජිමකට පවා තවත් එන්ජිමකින් පිටුපසින් ලැබෙන තල්ලුවකින් තොරව මැදිරි දහයක දුම්රිය කට්ටලයක්වත් ඉහළට ඇද ගැනීමට නොපුළුවන. ශීඝ්‍රගාමී දුම්රියකට මෙම දුර පසු කිරීමට ගතවන සාමාන්‍ය කාලය විනාඩි හතළිහකි. එසේම මෙම දුර්ග තරණයේ දී පීල්ල මත දුම්රියේ රෝද ලිස්සා යන බැවින් අනවශ්‍ය දුම්රිය ප්‍රමාදයන් ඇතිවන අවස්ථා ද බොහොමයකි.

රඹුක්කනත් කඩුගන්නාවත් අතර දුම්රිය මගෙහි ඇති බෑවුමේ ශීඝ්‍රතාවය අනුව කඩුගන්නාවෙන් පිටත් වන දුම්රිය කට්ටලයක් එන්ජිමක් නොමැති වුව ද ඉතා කෙටි වේලාවක් තුළ රඹුක්කනට 'පල්ලම් බස්සවා' ගත හැක. එහෙත්, ඒ සඳහා තිරිංග බලයක් අවශ්‍යම වෙයි. එසේ නොමැති වුවහොත් එම බෑවුම ඔස්සේ වේගයෙන් පහළ ඇදී එන එම දුම්රිය කට්ටලය අතර මගදී බිහිසුණු අනතුරකට ලක්වීමට බොහෝ ඉඩ තිබේ. එලෙස තිරිංග බලයෙන් මිදුණු දුම්රිය ගැල්, මැදිරි සහ දුම් රිය එන්ජින් පවා මෙම ශීඝ්‍ර බෑවුම ඔස්සේ පහළට ඇදීවිත් අනතුරට පත් වූ අවස්ථා බොහෝය. ඒවා අතරින් සමහරක් නිරුපද්‍රිතව රඹුක්කනට සේන්දු වූ අවස්ථා ද තිබේ.

කිරිවල්ලාපිටියෙන් දුර්ග තරණයට


Between Rambukkana and Kadugannawa, the railway track  covers a distance of more than   20 Kilometers meandering  across an  incline with a climb of 1300 feet between the two points. This area, rich in scenic beauty is considered as the threshold of the up- country of Sri lanka.

Thilak Senasinghe, along with Dr. Sugath Wijewardena  and Mr. Sahan Sankalpa Silva ,during a  recent explorative rail-hike covering this area, discovered  important  historical facts  about   some of the hidden  but enchanting  rural areas of rich  scenic beauty  which are of  historical importance as well .

ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ඇරඹුම රඹුක්කනය. එතැන් සිට කන්ද උඩරට මායිම වන කඩුගන්නාවට කිලෝ මීටර් විස්සකටත් මඳක් වැඩි දුරක් තිබේ. ඒ දුර පසු කරමින් කන්ද උඩරටට පිවිසෙනු පිණිස මීටර් හාරසියයක නැතහොත් අඩි එක්දහස් තුන්සියයක උසක් ඉහළ නැගීමට දුම්රියට සිදුවෙයි. එහෙත් ඒ අසිරිමත් මංපෙත පිළිබඳ මෙතෙක් ජන සමාජය හමුවේ අනාවරණය නොවූ අපූරු තොරතුරු රාශියක් තිබේ. එම තොරතුරු එකිනෙක අනාවරණය කරමින් රඹුක්කන සිට කඩුගන්නාව තෙක් සිල්පර කොට තිස් එක්දහස් දෙසීයක් පසුකොට පා ගමනක යෙදුණු තිලක් සේනාසිංහ ලියූ සටහන් පෙළකි මේ.


අප ඕනෑම කෙනෙකුට කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යාමේ ලොකු අසීරුවක් නැත. එහෙත්, එම ගමන දුම්රියකට නම් අප හිතන තරම් ලේසි පහසු කාරියක් නොවේ. නමුදු දුම්රිය අත්විඳින ඒ අසීරුව ගැන අගනුවර සිට උඩරට මාරිගයේ දුම්රිය ගමන්වල යෙදෙන බොහෝ මගීහු නොදනිති. දුම්රිය එන්ජිමකට මිනිසුන්ට මෙන් කතා කළ හැකි කටක් තිබේ නම් කොළඹ සිට උඩරට මාර්ගයේ ධාවනය වීමේ දී රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය කට්ටලය ඉහළට ඇද ගැනීමට තමන් විඳින දුක ගැන ඒ කටින් මිනිසුන් හමුවේ ලොකු කන්කෙඳිරියක් නගනු ඇත. එය එතරම් ලොකු දුර්ග තරණයකි.

සාමාන්‍යයෙන් උඩරට දුම්රියක් රඹුක්කන පසු වූ විට දුම්රිය කවුළුවලින් පිටතට හිස පොවන ගතියක් කොලු කුරුට්ටන් සහ ගැටවර ගැටවරියන් අතර තිබේ. ඇතැම් වැඩිහිටියකු ද එසේ කරනු ඉඳහිට දැකිය හැක. ඒ උඩරට දුම්රිය මෙම කඳු තරණය ඇරඹීමත් සමග හාත්පසින් නෙත ගැටෙන සොබා සෞන්දර්ය හා බැඳුණු අපූරු චමත්කාරය නිසාය. එහෙත් පියැවි නෙතට හසුවන ඒ චමත්කාරය තුළ ගැබ් වූ අපූරු තොරතුරු සම්භාරයක් ද මේ දුම්රිය ගමන හා බැඳී පවතී.

මෙම මග ඔස්සේ ගමන් ගන්නා දුම්රිය මැදිරියක සුව පහසුවෙන් ගමන් කොට ඒ අපූර්වත්වය පිළිබඳ හොඳ මට්ටමේ අනාවරණයක් කළ නොහැක. සැබවින්ම ඒ සම්බන්ධ සවිස්තරාත්මක විවරණයක් කිරීමට නම් රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය මගෙහි ඇති තිස් එක් දහස් දෙසියයකටත් මඳක් වැඩි සෑම සිල්පර කොටයක් මතටම පා තැබිය යුතුය. එමෙන්ම දුම්රිය මග දෙපස හමුවන ගම්දනව්වල ඇවිද දුම්රියේ යන විට නෙත ගැටෙන සෑම දසුනක් කෙරෙහිමත් විමසුමක් කළ යුතුය.

මුල දී සිතා සිටියාට වඩා බෙහෙවින් අසීරු මෙම කාරියට අත ගැසීමෙන් පසු මුලින් අපේක්ෂා කළ තොරතුරුවලට හාත්පසින්ම වෙනත් ගුප්ත චමත්කාරයක් දනවන තොරතුරු රැසක් ද එකලස් කර ගන්නට මේ චාරිකාවලියේ දී අපට හැකි විය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය ඇරඹෙනුයේ පොල්ගහවෙල දුම්රියපළ අද්දරිනි. ඊට හේතුව අප රටේ උතුරුදිග දුම්රිය මාර්ගය එම මංසන්ධියේ දී බෙදී අන් දිසාවකට විහිද යාම ය. එහෙත්, උඩරට මාර්ගයේ දුම්රිය අප රටේ මධ්‍යම කඳුකරයට පිවිසෙනුයේ එතැනින් නොවේ. හරියටම කිවහොත් ඒ ප්‍රවේශය සිදුවනුයේ පොල්ගහවෙල සිට කිලෝ මීටර් දොළහක් යන විට හමුවන රඹුක්කන, කිරිවල්ලාපිටියෙනි. කොළඹ, සිට එතැනට දුර කිලෝ මීටර් 84.8 කි.

අගනුවර සිට ඒ දක්වා සාමාන්‍ය මගක එන උඩරට දුම්රිය එතැන් සිට සිය ගමන අරඹනුයේ විස්මය ජනක හා අසිරිමත් මංපෙතක් ඔස්සේය.

රඹුක්කන පසු කළ විට හමුවන ඊළඟ ප්‍රධාන දුම්රිය නැවතුම්පළ කඩුගන්නාවය. කොළඹ සිට රඹුක්කනට ඇති දුර කිලෝ මීටර් 83.2 කි. උස මුහුදු මට්ටමින් අඩි තුන් සිය අසූවකි. කඩුගන්නාවට කොළඹ සිට කිලෝ මීටර් 104 ක දුරක් තිබේ. එහි උස මුහුදු මට්ටමින් අඩි එක්දහස් හයසිය අසූහතකි. ඒ අනුව රඹුක්කනින් නික්මෙන දුම්රියක් කඩුගන්නාව තෙක් වන කිලෝ මීටර් 20.8 දුර ප්‍රමාණය පසු කරනුයේ අඩි එක්දහස් තුන්සියයකටත් වඩා උසක් ඉහළට නගිමිනි. මෙවන් දුර ප්‍රමාණයක් තුළ මෙතරම් උසක් ඉහළ නැගීමක් අපගේ දුම්රිය මාර්ග පද්ධතියේ වෙන කිසිදු තැනක නැත. එපමණක් නොව ලෝක දුම්රිය මාර්ග පද්ධතියේ ද මෙවන් ශීඝ්‍ර කඳු නැගීම් ඇත්තේ සීමිත ප්‍රමාණයකි.