Tuesday, August 24, 2010

1:50 බෑවුමක්

රඹුක්කන සිට කඩුගන්නාවට ළඟාවීම සඳහා උඩරට දුම්රිය මහත් වෙරවීරියක් දරමින් මහනුවර සානුවට බටහිර දෙසින් පිහිටි උස් කඳු තුනක්ම තරණය කරයි. සබරගමු පළාතේ උතුරු මායිමේ පිහිටි අඩි දහස් ගණන් උස්ව නැගී ගත් අලගල්ල, මොටන සහ වෙරළුගොල්ල - මොරගොල්ල යන කඳු අතරින් දුම්රිය ඇදී යන්නේ බැලූ බැල්මට සියොළඟ කිළිපොලන ශීඝ්‍ර ප්‍රපාත ගැටි ද පසු කරමිනි.

මේ කඳු තරණය සඳහා රඹුක්කන සිට කඩුගන්නාව අතර නැග්ම සාමාන්‍යයෙන් අඩි 1.50 වන පරිදි දුම්රිය මග තනා තිබේ. මේ නැග්ම කොතෙක් ශීඝ්‍රාකාර ද යත් ලෝකයේ නිෂ්පාදිත අති නවීන දුම්රිය එන්ජිමකට පවා තවත් එන්ජිමකින් පිටුපසින් ලැබෙන තල්ලුවකින් තොරව මැදිරි දහයක දුම්රිය කට්ටලයක්වත් ඉහළට ඇද ගැනීමට නොපුළුවන. ශීඝ්‍රගාමී දුම්රියකට මෙම දුර පසු කිරීමට ගතවන සාමාන්‍ය කාලය විනාඩි හතළිහකි. එසේම මෙම දුර්ග තරණයේ දී පීල්ල මත දුම්රියේ රෝද ලිස්සා යන බැවින් අනවශ්‍ය දුම්රිය ප්‍රමාදයන් ඇතිවන අවස්ථා ද බොහොමයකි.

රඹුක්කනත් කඩුගන්නාවත් අතර දුම්රිය මගෙහි ඇති බෑවුමේ ශීඝ්‍රතාවය අනුව කඩුගන්නාවෙන් පිටත් වන දුම්රිය කට්ටලයක් එන්ජිමක් නොමැති වුව ද ඉතා කෙටි වේලාවක් තුළ රඹුක්කනට 'පල්ලම් බස්සවා' ගත හැක. එහෙත්, ඒ සඳහා තිරිංග බලයක් අවශ්‍යම වෙයි. එසේ නොමැති වුවහොත් එම බෑවුම ඔස්සේ වේගයෙන් පහළ ඇදී එන එම දුම්රිය කට්ටලය අතර මගදී බිහිසුණු අනතුරකට ලක්වීමට බොහෝ ඉඩ තිබේ. එලෙස තිරිංග බලයෙන් මිදුණු දුම්රිය ගැල්, මැදිරි සහ දුම් රිය එන්ජින් පවා මෙම ශීඝ්‍ර බෑවුම ඔස්සේ පහළට ඇදීවිත් අනතුරට පත් වූ අවස්ථා බොහෝය. ඒවා අතරින් සමහරක් නිරුපද්‍රිතව රඹුක්කනට සේන්දු වූ අවස්ථා ද තිබේ.

3 comments:

  1. හරිම රසවත්ව ලියා ඇත . . . මගේ සුබ පැතුම් !

    කමෙන්ට් දානකොට එන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරොත් අගෙයි !

    ReplyDelete
  2. තිලක්,

    රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම් රිය ගමන් කිරීමේදී,ලිස්සා යාම වැලැක්වීමට, එන්ජිමේ ඉදිරිපස සිටිනා දෙදෙනෙකු දුම් රිය පීළි මත වැලි ඇතිරූ කතාවක් අපේ අත්තම්මා පවසනු මට මතකයට නැඟේ.

    ඇය කන්සලගමුවේ උපත ලැබූ තැනැත්තියක් වන අතර මෙය වසර අනූවකට පමණ පෙර සිදුවූවක් බව අනුමාන කරමි.

    ReplyDelete
  3. I read the "Udarata Menike" in Lakbima news paper with a great interest. This is another example of the ingenuity of the authorship of Mr Thilak Senasinghe. This intuitive journalist brings hidden wonders and forgotten history of our country to us in simple language. All the best to Thilak and his avid explores for their excellent work.

    ReplyDelete