මඳ වේලාවකින් කැබැල්ලවත්ත රේල් බෝක්කුව දෙසින් මහා පිපිරුම් හඬක් ගැමියන්ට ඇසුණි. ඒ සමගම ලොකු දුමක්ද අහස්ගත විය.
"හරි, දැන් ඉතින් කෝච්චි ගිහින් ඉවරයි. මීට පස්සෙ අපිට රේල් පාරෙත් මයියොක්කා හිටුවන්න තමයි වෙන්නේ" චේ ගුවේරා භීෂණයෙන් මනැස් හිරිවට්ටා ගෙන අහුමුළුවල සැඟවී සිටි ගැමියෝ එකි'නෙකාට එසේ මුමුණා ගත්හ.
ඉන්පසු හාත්පස පැවතියේ තීව්‍ර නිහැඬියාවකි. ඒ අනුව සිදුව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලයෙන් යුතුව නිවෙස් තුළින් හෙමි හෙමින් එළියට පැමිණි පිරිසට ඒ. එම්. ජයසූරිය නම් කොලු ගැටයාද එකතු විය. නමුත් චේ ගුවේරාකාරයන් වහසි බස් දෙඩූ අන්දමට රේල් බෝක්කුව පුපුරා විනාශ වී ගොස් නැත. එය කලින් තිබූ අයුරින්ම තිබේ. එහෙත්, එම පිපිරීම නිසා බෝක්කුව මැද තරමක සිදුරක් හටගෙන ඇත. එනිසා පුංචි පහරකට ඇත්තේ බෝක්කුව යට මහ පාරට වී උඩ බලාන් විට ඒ සිදුරින් අහස පෙනීම පමණි. මඳ වේලාවකින් නුවර දෙස සිට පැමිණි දුම්රිය ඇන්ජිමක් බෝක්කුව අද්දර නතර වනු ගැමියන්ට පෙනිණ. එහි ඉදිරිපස පිටුපස සහ දෙපස 'කැට් වෝක්' නමින් හැඳින්වෙන කොටසේ අවි දැරූ යුද සෙබළු විස්සක් පමණ සිටි බව ජයසූරියටද මතකය. එන්ජිම බෝක්කුව අද්දර නතර කරත්ම එහි සිටි සෙබළු ඉවක් බවක් නොමැතිව ඒ මේ අතට වෙඩි තබන්නට වූහ. එහෙත් බෝක්කුව යට හෝ අහල පහල සිටි ගැමියන් ඔවුන්ගේ ඉලක්කය නොවූ බව කාටත වැටහිණ. නමුදු ඒ වන විටත් බෝක්කුව පුපුරවා හරින්නට වෙර දැරූ චේ ගුවේරාකාරයෝ අන් කිසිවකුට තම සුළඟක්වත් හසු නොවන සේ අතුරුදන්ව සිටියහ.
හුම් රිය එන්ජිම ආපසු මහනුවර දෙසට නිකම ගොස් මඳ වේලාවකින් රඹුක්කන සිට එතැනට පැමිණියේ ලෑන්ඩ් රෝවර් වර්ගයේ පොලිස් ජීප් රථයකි. ඒ වන විට එතැන ගම්මුන් සෑහෙන පිරිසක් රැස්ව සිටි අතර ජීප් රථයෙන් බැසගත් පොලිස් නිලධාරීහු ඉන් තුන් දෙනෙකු අල්ලා ගත්හ.
"තොපි නේද මේ බෝක්කුව පුපුරවන්න හැදුවේ, බොරු කියලා බේරෙන්න විතරක් එපා. යමව්, තොපිට බෝක්කු පුපුරවන හැටි කියලා දෙන්න." අල්ලා ගත ගැමියන්ට එසේ ගෝරනාඩු කළ පොලිස් නිලධාරීන් අතින් පයින් සංග්‍රහ කොට ඔවුන් ජීප් රථයට නංවාගත්තේ ඒ අහිංසක ගැමියන්ට එක වදනකුදු කතා කිරීමට ඉඩ නොතබමිනි.
බී.පී. මුදියන්සේ, කේ.ජී. ජේමිස් සහ යූ.එච්. මුදියන්සේ හෙවත් ලොක්කයියා යන ගැමියෝ තමන් සිහිනයකින් වත් නොදුටු සාපරාධී වරදකට එදින එසේ පොලිස් අත්ඩංගුවට පත්වූහ. ඉන් ලොක්කයියා ඉතා මෑත දිනයෙක සදහටම මෙලොවින් සමුගත් බවද මේ චාරිකාවේ දී අපට දැනගන්නට හැකිවිය.
කෙසේ නමුදු එම පිපිරවීම සඳහා යොදා ගැනුණු මනෝසීල, පොටෑසියම්, ගෙන්දගම් සහ වෙඩිලුණු සංයෝගයේ අක්‍රමවත් බව නිසා එම පිපිරවීම සාර්ථක නොවූ බව පසුව අනාවරණය විය. එමෙන්ම ඔවුන් එම රසායනික ද්‍රව්‍ය පැහැරගෙන තිබුණේ ප්‍රදේශයේ පාසල්වල රසායනාගාරවලින් බවද තහවුරු විණි. එනිසා ඉන්පසු පාසල් රසායනාගාරවලට මනෝසීල නම් රසායනිකය ලබා දීමද අධ්‍යාපන අමාත්‍යංශය මගින් මුළුමනින්ම අත්හිටුවන ලදී. එහෙත් ඒ බෝම්බ පිපිරීමෙන් කැබැල්ලවත්ත බෝක්කුව සිදුරුවීම මිස එහි සවිමත් බවට කිසිදු හානියක් වී නොමැති බව හනික තහවුරු විය. එබැවින් එම බෝම්බ සිදුරු කොන්ක්‍රීට් දමා වසා යළි අප්‍රමාදවම දුම්රිය ධාවනය අරඹන ලදී. පසුව ඒ මතින් දිවෙන දුම්රියේ බර තවදුරටත් බෝක්කුවට නොදැනෙන සේ වානේ පීලි අතුරා ඒ මතින් දිවෙන දුම්රිය මග පිහිටි පොළොව හා සම්බන්ධ කොට වඩාත් සවිමත් කෙරිණ. ඒ අනුව අද යම් හෙයකින් දුම්රියක් ධාවනය වන අතරේ කැබැල්ලවත්ත බෝක්කුව හදිසියේ කඩා වැටුණ ද ඒ මතින් දිවෙන උඩරට දුම්රියට ඉන් කිසිදු අපල උපද්‍රවයක් ඇති නොවේ.
සියලු ලිපි එක හුස්මටම කියවා නිමකලෙමි.එතරම් රසවත්ව එය ලියා ඇත.
ReplyDelete