Thursday, August 26, 2010

කන්සලගමුවෙන් තෙල්උල්පත්

රඹුක්කන කිරිවල්ලාපිටිය පසු කළ විට උඩරට දුම්රිය මාර්ගයේ හමුවන ඊළඟ ගම්මානය කන්සලගමුවයි. කුඹුරු යායක් මැදි කොට තනා ඇති වේල්ලක ආකාරයේ විශාල පස් පිරවුමක් මත මේ ගම්මානය ඔස්සේ ඉංග්‍රීසීන් උඩරට දුම්රිය මග තනා තිබේ. මෙම කුඹුරු යාය පිහිටි ප්‍රදේශයේ අතීතයේ වැවක් තිබූ බවට ජනප්‍රවාදයක් පවතී.


ඒ වැව ආශ්‍රිතව පැරණි රජ කෙනකු විසින් තැන්පත් කරන ලද මහා ධන නිධානයක් ඇතැයි පැරැන්නෝ කියති. ඊට සම්බන්ධ සලකුණක් ලෙස පැරණි කන්සලගමුව වැවේ රන්තෝඩු පැළඳි ආඳකු එකල ගැමියන්ට දර්ශනය වූ බවටද ජනප්‍රවාද කිහිපයක් අදත් ප්‍රදේශයේ පැතිර පවතී.


එම ආඳාගේ රන් තෝඩු සහිත කන් සෙලවීමේදී මිහිරි හඬක් නැගුණු අතර, ඒ හඟ ඇසුණු ප්‍රදේශය පසුව කන්සලගමුව නමින් හැඳින්වුණු බවත් අදත් ඇතැමෙක් කියති. එහෙත් මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන ආඳන්ට කන් පිහිටා නැත.


නමුදු මේ අද්භූත ආඳකු බැවින් එලෙස කන් පිහිටා තිබුණා වන්නටද පුළුවන.


කෙසේ හෝ රන් තෝඩු පැළඳි ආඳෙකු පිළිබඳ මෙබඳුම ජනප්‍රවාදයක් අඹේපුස්ස යන්තල්ගොඩ යා කොට වැටී ගත් යකඩ දුම්රිය පාලම ආසන්නයේ පිහිටි රත්තරන් හේන ප්‍රදේශයෙන්ද අසන්නට ලැබේ. මෙලෙස රන් තෝඩු පැළඳි ආඳන් දර්ශනය වනුයේ ඒ අශ්‍රිතව මහා ධන නිධාන පවතින බවට ඇඟවෙන ගුප්ත ලකුණක් ලෙසිනැයි ඒ ප්‍රදේශයේ පැරණි ගැමියෝද විශ්වාස කරති.


ඒ කෙසේ වෙතත් අද වන විට එදා කන්සලගමුවේ සිට කන් සෙලවූ ආඳා තබා ඌ ජීවත් වූ බව පැවසෙන වැවේ සලකුණකුදු සොයාගත නොහැක. එබැවින් ඒ ආශ්‍රිතව තිබූ බව පැවසෙන නිධානයට කුමක් විණිදැයි අපි නොදනිමු. නමුදු කන්සලගමුවට යාබද ගම්මානයද 'ආඳාපාන' යනුවෙන් අදටද හැඳින්වීමෙන් අපට හැඟීයන්නේ මෙම ආඳා සම්බන්ධ වෘතාන්තවල ඉතා වැදගත් මානව විද්‍යාත්මක පදනමක් ඇති බවය.


රඹුක්කනින් පසු උඩරට මාර්ගයේ හමුවන ඊළඟ දුම්රිය පළ කඩිගමුවය.


කොළඹ සිට කිලෝ මීටර් 88.5 දුරින් පිහිටි කඩිගමුව දුම්රියපළ මුහුදු මට්ටමින් මීටර් 192.2 උසින් පිහිටා තිබේ. රඹුක්කන සිට කඩිගමුවට කිලෝමීටර් පහකට මඳක් වැඩි දුරක් ඇත.


ඒ දුර පසු කර ගෙන රඹුක්කන සිට කඩිගමුව දක්වා පැමිණෙන දුම්රියකට මීටර් හැත්තෑපහකටත් වැඩි උසක් ඉහළ නගින්නට සිදුවෙයි.


උඩරට දුම්රිය මාර්ගයේදී මුලින්ම හමුවන අංක 2,3 සහ 04 යන බිංගෙවල් තුන පිහිටා ඇත්තේ රඹුක්කන හා කඩිගමුව අතරය. දුම්රිය දෙපාර්තමේන්තුව මේවාට ඉහත සඳහන් අංක දී තිබේ. එහෙත් ගම්මුන් මේවා හඳුන්වනුයේ ඒවාට විශේෂිත නම්වලිනි.


ඒ වැලිබිංගේ, කොටබිංගේ සහ වැල්කාර බිංගේ යනුවෙනි.


කොලඹ සිට පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ඉන්ධන ටැංකි කිහිපයක් 1984 ජූලි 24 දින අලුයම යාමයේ මෙම වැල්කාර බිංගෙය නුදුරේදී පෙරළී ගියේය.


ඒ අනතුර සිදු වූ ස්ථානයට කොළඹ සිට දුර කිලෝ මීටර් 87.5 කි.


කිරිවල්ලාපිටිය පසු කරත්ම කන්සලගමුවේ නිල්වන් තුරුගොමු අතරට පිවිසෙන උඩරට දුම්රිය මාර්ගය මෙම ප්‍රදේශයේදී වැටී ඇත්තේ වම් පසින් දිස්වන බෑවුමක ඉහත්තාවෙනි.


උඩරට දුම්රියේ වම්පස අසුනක ගමන් කරන අයකුට ඒ බෑවුමේ පිහිටි රඹුක්කන හතරලියද්ද සහ රඹුක්කන මාවනැල්ල මහා මාර්ග වෙන්වන කැබැල්ලවත්ත හන්දිය අපූරුවට පෙනෙයි.


එම අනතුරින් දුම් රියේ ඉන්ධන ටැංකි කිහිපයක් පෙරැළී ගියේ රුපියල් කෝටි ගණනක් ඉන්ධන සම්භාරයක් නිකරුණේ මහ පොළොවට මුසු කරමිනි. එමෙන්ම එම ඉන්ධන ගලා යාම නිසා බෑවුමේ පිහිටි මහාමාර්ගයේ ප්‍රවාහන කටයුතුද තාවකාලිකව අඩාල විය. එහෙත් එසේ ගලා ගිය ඉන්ධන සියල්ල අවසානයේ තැන්පත් වූයේ මහා මාර්ගයෙන් පහළ කුඹුරු යායෙහිය. ඒ එම ප්‍රදේශයේ ගැමියන්ට කැබැල්ලවත්තෙන් තාවකාලිකව 'ඛනිජ තෙල් ඉල්ලමක්' ද පාදා දෙමිනි.


ඒ අනුව පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් ආදී වශයෙන් වෙන්ව හඳුනා ගත නොහැකි මේ අපූරු තෙල ලියැදිවලින් හිතේ හැටියට බඳුන්වලට පුරවා ගෙන ගිය ගැමියෝ ඉතා දිගුකාලයක් ඒවා ප්‍රයෝජනයට ගත්හ. එමෙන්ම එම තෙල් තොගය සිඳී ගිය පසුද ඔවුනට පාඩුවක් සිදු නොවිණි.


ඒ ඉන්පසු එම ලි‍යැදිවල වළවල් කැපීමේදී ඒවා තුළින්ද අර අපූරු තෙල තවදුරටත් මතු වී ඒම නිසාය.


1 comment:

  1. ඒ අනතුරට ලක් උනේ M5 780 දරන එන්ජිම සහිත තෙල් ගැල් රැගෙන ගිය දුම් රිය.. එන්ජිම නැවත අලුත් වැඩිය කල නොහැකි තත්වයක තමයි තියෙන්නෙ.

    ජය..

    ReplyDelete