Tuesday, August 24, 2010

කිරිවල්ලාපිටියෙන් දුර්ග තරණයට


Between Rambukkana and Kadugannawa, the railway track  covers a distance of more than   20 Kilometers meandering  across an  incline with a climb of 1300 feet between the two points. This area, rich in scenic beauty is considered as the threshold of the up- country of Sri lanka.

Thilak Senasinghe, along with Dr. Sugath Wijewardena  and Mr. Sahan Sankalpa Silva ,during a  recent explorative rail-hike covering this area, discovered  important  historical facts  about   some of the hidden  but enchanting  rural areas of rich  scenic beauty  which are of  historical importance as well .

ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ ඇරඹුම රඹුක්කනය. එතැන් සිට කන්ද උඩරට මායිම වන කඩුගන්නාවට කිලෝ මීටර් විස්සකටත් මඳක් වැඩි දුරක් තිබේ. ඒ දුර පසු කරමින් කන්ද උඩරටට පිවිසෙනු පිණිස මීටර් හාරසියයක නැතහොත් අඩි එක්දහස් තුන්සියයක උසක් ඉහළ නැගීමට දුම්රියට සිදුවෙයි. එහෙත් ඒ අසිරිමත් මංපෙත පිළිබඳ මෙතෙක් ජන සමාජය හමුවේ අනාවරණය නොවූ අපූරු තොරතුරු රාශියක් තිබේ. එම තොරතුරු එකිනෙක අනාවරණය කරමින් රඹුක්කන සිට කඩුගන්නාව තෙක් සිල්පර කොට තිස් එක්දහස් දෙසීයක් පසුකොට පා ගමනක යෙදුණු තිලක් සේනාසිංහ ලියූ සටහන් පෙළකි මේ.


අප ඕනෑම කෙනෙකුට කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යාමේ ලොකු අසීරුවක් නැත. එහෙත්, එම ගමන දුම්රියකට නම් අප හිතන තරම් ලේසි පහසු කාරියක් නොවේ. නමුදු දුම්රිය අත්විඳින ඒ අසීරුව ගැන අගනුවර සිට උඩරට මාරිගයේ දුම්රිය ගමන්වල යෙදෙන බොහෝ මගීහු නොදනිති. දුම්රිය එන්ජිමකට මිනිසුන්ට මෙන් කතා කළ හැකි කටක් තිබේ නම් කොළඹ සිට උඩරට මාර්ගයේ ධාවනය වීමේ දී රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය කට්ටලය ඉහළට ඇද ගැනීමට තමන් විඳින දුක ගැන ඒ කටින් මිනිසුන් හමුවේ ලොකු කන්කෙඳිරියක් නගනු ඇත. එය එතරම් ලොකු දුර්ග තරණයකි.

සාමාන්‍යයෙන් උඩරට දුම්රියක් රඹුක්කන පසු වූ විට දුම්රිය කවුළුවලින් පිටතට හිස පොවන ගතියක් කොලු කුරුට්ටන් සහ ගැටවර ගැටවරියන් අතර තිබේ. ඇතැම් වැඩිහිටියකු ද එසේ කරනු ඉඳහිට දැකිය හැක. ඒ උඩරට දුම්රිය මෙම කඳු තරණය ඇරඹීමත් සමග හාත්පසින් නෙත ගැටෙන සොබා සෞන්දර්ය හා බැඳුණු අපූරු චමත්කාරය නිසාය. එහෙත් පියැවි නෙතට හසුවන ඒ චමත්කාරය තුළ ගැබ් වූ අපූරු තොරතුරු සම්භාරයක් ද මේ දුම්රිය ගමන හා බැඳී පවතී.

මෙම මග ඔස්සේ ගමන් ගන්නා දුම්රිය මැදිරියක සුව පහසුවෙන් ගමන් කොට ඒ අපූර්වත්වය පිළිබඳ හොඳ මට්ටමේ අනාවරණයක් කළ නොහැක. සැබවින්ම ඒ සම්බන්ධ සවිස්තරාත්මක විවරණයක් කිරීමට නම් රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය මගෙහි ඇති තිස් එක් දහස් දෙසියයකටත් මඳක් වැඩි සෑම සිල්පර කොටයක් මතටම පා තැබිය යුතුය. එමෙන්ම දුම්රිය මග දෙපස හමුවන ගම්දනව්වල ඇවිද දුම්රියේ යන විට නෙත ගැටෙන සෑම දසුනක් කෙරෙහිමත් විමසුමක් කළ යුතුය.

මුල දී සිතා සිටියාට වඩා බෙහෙවින් අසීරු මෙම කාරියට අත ගැසීමෙන් පසු මුලින් අපේක්ෂා කළ තොරතුරුවලට හාත්පසින්ම වෙනත් ගුප්ත චමත්කාරයක් දනවන තොරතුරු රැසක් ද එකලස් කර ගන්නට මේ චාරිකාවලියේ දී අපට හැකි විය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය ඇරඹෙනුයේ පොල්ගහවෙල දුම්රියපළ අද්දරිනි. ඊට හේතුව අප රටේ උතුරුදිග දුම්රිය මාර්ගය එම මංසන්ධියේ දී බෙදී අන් දිසාවකට විහිද යාම ය. එහෙත්, උඩරට මාර්ගයේ දුම්රිය අප රටේ මධ්‍යම කඳුකරයට පිවිසෙනුයේ එතැනින් නොවේ. හරියටම කිවහොත් ඒ ප්‍රවේශය සිදුවනුයේ පොල්ගහවෙල සිට කිලෝ මීටර් දොළහක් යන විට හමුවන රඹුක්කන, කිරිවල්ලාපිටියෙනි. කොළඹ, සිට එතැනට දුර කිලෝ මීටර් 84.8 කි.

අගනුවර සිට ඒ දක්වා සාමාන්‍ය මගක එන උඩරට දුම්රිය එතැන් සිට සිය ගමන අරඹනුයේ විස්මය ජනක හා අසිරිමත් මංපෙතක් ඔස්සේය.

රඹුක්කන පසු කළ විට හමුවන ඊළඟ ප්‍රධාන දුම්රිය නැවතුම්පළ කඩුගන්නාවය. කොළඹ සිට රඹුක්කනට ඇති දුර කිලෝ මීටර් 83.2 කි. උස මුහුදු මට්ටමින් අඩි තුන් සිය අසූවකි. කඩුගන්නාවට කොළඹ සිට කිලෝ මීටර් 104 ක දුරක් තිබේ. එහි උස මුහුදු මට්ටමින් අඩි එක්දහස් හයසිය අසූහතකි. ඒ අනුව රඹුක්කනින් නික්මෙන දුම්රියක් කඩුගන්නාව තෙක් වන කිලෝ මීටර් 20.8 දුර ප්‍රමාණය පසු කරනුයේ අඩි එක්දහස් තුන්සියයකටත් වඩා උසක් ඉහළට නගිමිනි. මෙවන් දුර ප්‍රමාණයක් තුළ මෙතරම් උසක් ඉහළ නැගීමක් අපගේ දුම්රිය මාර්ග පද්ධතියේ වෙන කිසිදු තැනක නැත. එපමණක් නොව ලෝක දුම්රිය මාර්ග පද්ධතියේ ද මෙවන් ශීඝ්‍ර කඳු නැගීම් ඇත්තේ සීමිත ප්‍රමාණයකි.




7 comments:

  1. අද තමයි ඇහැ ගැටුණේ . . නියමයි . . දිගටම ලියන්න.

    ReplyDelete
  2. අපි විඳින සුන්දරත්වයේ ගැඹුර සහ යථාර්ථය ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියි

    ReplyDelete
  3. සහතික ඇත්ත.
    අපිත් ගියා ඔය ගමනම. හැබැයි කඩුගන්නාව සිට රඹුක්කනට.
    ස්තූතියි තොරතුරු බෙදා ගත්තට!

    ReplyDelete
  4. ඉතා අහම්බුවෙන් නෙත ග‍ටුනෙ ඔබගේ මෙම ලිපි පෙල. හරිම ආසවකින් එක දිගටම කියවගෙන ගියා. මමත් බොහො වාරයක් කොළඹ සිට බණ්ඩාරවෙල, බදුල්ල බලා ගමන් කර තිබෙනවා. නමුත් කිසිම මොහොතක මෙවනි කෝණයකින් ගවේශණාත්මකව සංචාරක අත්දකීමක් ලබාගෙන නැහැ.

    සරල සුන්දර අයුරින් කර ඇති විස්තර ක්ෂණික සිතුවිලි පෙලක්ම ලබා දෙනවා. මෙහි ඇති අධ්්‍යාපනික වටිනාකම ඉතාමත් ඉහලයි.

    තිලක් මහත්මයා, ඔබට බොහොම ස්තූතිය් මෙම හරවත් ලිපි පෙල අන්තර්ජාලය තුලින් කියවීමට අවස්ථාව ලබදුන්නාට. මම විදේශ ගතව සිටින කෙනෙක්.

    තවත් මෙවැනි සොදුරු ලිපි පෙලක් පලකිරීමට හැකිනම් ඉතා වටිනවා.

    මම, නාමල්.

    ReplyDelete
  5. pls thawa post danna, api asayi kiyawanna,........

    ReplyDelete