Thursday, August 26, 2010

ඉන්ටසිටි ඛේදවාචකය

2002 වසරේ ජනවාරි 13 වන ඉරිදාව මඟුල් නැකත් දිනයකි. එබැවින් අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ පාදම ලෙස ගැනෙන රඹුක්කන කිරිවල්ලාපිටිය ප්‍රදේශයේ නිවසක එදින ජයටම මඟුල් කෑමක් සංවිධානය වෙමින් තිබිණි.

වේලාව පෙරවරු හත හමාර පසුවූවා පමණි. තුනී මිහිදුම් පටලයකින් වැසී තිබූ කිරිවල්ලාපිටිය වෙල් එළිය මැදි කරගත් දුම්රිය පාර දෙසින් එක්වරම මහා ගොරබිරම් හඬක් අහස් ගතවිය.

ඒ සමගම අවට ගැමියනට අසන්නට ලැබුණේ මිනිසුන් සිය ගණනකගේ මර විලාපයකි.

ඒ අනුව තම විලිබිය හැරුණු කොට අන් සියල්ල අමතක කළ කිරිවල්ලාපිටිය ගැමියෝ හනික එදෙසට දිව ගියහ. එවිට ඔවුනට දැක ගත හැකිවූයේ මහනුවර සිට කොළඹ බලා දිවෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ සියලුම මැදිරි විවිධ ආකාරවලින් වෙලට පෙරැළී ඇති බවකි. එයට සම්බන්ධව තිබූ එම් 6 පන්තියේ 788 දරන දුම්රිය එන්ජිම පමණක් කිරිවල්ලාපිටිය රේල් ගේට්ටුව පසුකොට මද දුරක් ගොස් නිරුපද්‍රිතව නතර වී තිබිණි.

එම දුම්රිය අනතුර සිදු වී විනාඩි කිහිපයක් තුළ එම ස්ථානයට දහස් ගණන් ජනයා රැස්වූහ. වෙලට පෙරැළී ගිය දුම්රිය මැදිරි තුළ සිරවී අන්ත අසරණව සිටි මගීන් ඉන් පිටතට ගැනීමේ 'ක්ෂණික පොදු ජන මෙහෙයුම' ඒ මොහොතේම ඇරඹිණි. එම මගීන් අතර රුධිරය ඉහින් කනින් නාගත් වුන් බාහිර තුවාල නැතත් අත් පා කැඩී බිඳීම්වලට ලක්වූවන්, සිහිවිසඥවූවන් සේම ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටි මගීහුද වූහ.

මංගල උත්සවය සඳහා සැරසුණු වීඩියෝ කැමරා ශිල්පීන් එම අනතුර සිදුවී විනාඩි කිහිපයක් තුළ එහි පැමිණි අතර මෙම සිද්ධියේ ඇති ප්‍රවෘත්තිමය වැදගත්කම ඔවුහුද එසැණින් වටහා ගත්හ.

මංගල උත්සවය රූප ගත කිරීමට රැගෙන ආ තම වීඩියෝ කැමරාවලින් එම දැවැන්ත ඛේදවාචකය, මළගම වීඩියෝ ගත කිරීමට ඔවුනට සිදුවූයේ එබැවිනි.

කඩුගන්නාව සිට රඹුක්කන තෙක් වැටී ගත් ශීඝ්‍ර බෑවුම් මාර්ගයේ බලන සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි මාකෙහෙල්වල දුම්රිය නැවතුම අද්දරදී දුම්රියේ ප්‍රවේගික තිරිංග (Dynamic Break) අක්‍රිය වී එතැන් සිට දුම්රිය කට්ටලය අධික වේගයකින් පහළට ඇදී ආ බව පසුව එහි රියැදුරු කේ.එල්. රංජිත් කළ ප්‍රකාශයෙහි සටහන් විය.

එම බිහිසුණු දුම්රිය අනතුරින් එහි ගමන් කළ මගීහු පහළොස් දෙනෙක් මිය ගියහ. මගීහු දෙසීයක් පමන බරපතළ තුවාල ලැබූහ.

රියැදුරුගේ ප්‍රකාශය එසේ වුවත් මෙම අනතුරට හේතුව දුම්රියේ යාන්ත්‍රික දෝෂයක්ද නැතහොත් එහි තිරිංග සඳහා යෙදූ උපාංගවල බාල බවක්ද එසේත් නැතහොත් එහි රියැදුරුගේ අපරීක්ෂාකාරී බවද යන්න පිළිබඳ පසුව නොයෙක් තර්ක විතර්ක ඇතිවිය.

නමුදු එම නතුර සම්බන්ධයෙන් තමන් සහමුලින්ම නිවැරදි බවත්, සිය වැරදි වසන් කර ගැනීමට ඒවාට වග කිවයුතු විවිධ පාරශවයන්ගෙන් තමන් වෙත එල්ල වන චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් එහි රියැදුරු කේ.එල්. රංජිත් පුන පුනාම කීය.

පසුව ඒ චිත්ත පීඩාව පවතින අතරේම හටගත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය උග්‍රවීමෙන් ඔහු අකල් මරණයකට ලක්විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනකි. කෙසේ හෝ එම දුම්රිය ඛේදවාචකය සිදු වූ කිරිවල්ලාපිටිය දුම්රිය හරස් පාර අද්දරින් ඇතැම් රාත්‍රී කාලයන්හි අද්භූත විලාප හඬවල් ඇසෙන බවටද ඒ ප්‍රදේශයේ ගැමියන් අතර මෙම අනතුරින් පසු විවිධ ආරංචි පැතිරිණි. නමුදු මෑතක දී නම් එබඳු විලාප හඬකට සවන් දුන් කිසිවකු ඒ ප්‍රදේශයේ නැත..




3 comments:

  1. මටත් මේ අනතුර ගැන මතකයි. එම පුවත පුවත් පත්වලින් කියවා තිබුනා. නමුත් රියදුරු මහතා අකාලයේ මියුදුන බව දැනගත්තේ අදයි.

    ReplyDelete
  2. මේ සිද්දිය වෙනකොට මම හිටියෙ ලොකු අම්මලගෙ ගෙදර. ඒ කියන්නෙ රබුක්කන රෝහල ඉස්සරහම ගෙදර. ගමෙ මිනිස්සුනම් උපරිමෙන් උදව් කලා.

    ජය..

    ReplyDelete
  3. මේ සිද්ධිය වන විට මම හිටියේ බදුල්ලේ සිට රඹුක්කන එනවා.. අපිට ආරංචි උනා රමුක්කන කොච්චියක් පෙරලි ඇති බව. මම ආව හැටිය එම ස්ථානයට ගියා අපේ ගමේ වුන සිද්ධිය තවමත් අමතක වෙන්නේ නෑ.......

    ReplyDelete