Thursday, September 2, 2010

අලගල්ල කන්දේ වගතුග



ශ්‍රී ලංකාවේ උඩරට දුම්රියක දකුණුපස අසුනක ගමන් කරන අයකුට පොල්ගහවෙල පසු වූ විට අලගෙඩියක හෝ මොල්ලියක හැඩයේ සිරසකින් යුතු උස් කඳුවැටියක් දක්නට ලැබේ. මෙම කඳුවැටිය රඹුක්කන දුම්රියපළට වඩාත් සමීපව දිස්වේ. එහෙත්, මුහුදු මට්ටමින් මීටර් 1100 (අඩි 3586) ක් උසැති මුදුණිකින් යුතු මෙම කඳුවැටියෙන් තුනෙන් එකකට ආසන්න උසක් දක්වා උඩරට යන ගමනේ දී දුම්රියට ඉහළ නගින්නට සිදුවන බව යමකුට සිතා ගන්නට පවා අසීරු කරුණකි.

මෙම කන්ද අප බොහෝ දෙනෙකු අසා ඇති අලගල්ල කන්ද ය. උඩටර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියපළට ඔබ්බෙන් යටිවල්දෙණිය දුම්රිය නැවතුම්පළ හමුවේ. එම දුම්රිය මගෙහි අංක 5 දරන බිංගෙය හමුවන්නේ ඉන්පසුවය. ප්‍රදේශවාසීහු ඊට හේන්පොළ බිංගෙය නැතහොත් කදුරාගෙඩිය බිංගෙය යයි කියති. උඩරට දුම්රිය මාර්ගයේ 91 වන කිලෝ මීටර් කණුව එම බිංගෙයෙහි පියැස්ස අද්දරම දැකිය හැක. මීටර් 218 (අඩි 710) ක දිගකින් යුතු වංගු සහිත මෙම බිංගෙය අලකන්ද කන්දේ පාදමෙහි පිහිටා ඇත. කන්දේ නිරිතදිග බෑවුමේ ඇති හරස් කැපුමක් බඳු දුම්රිය මග ඔස්සේ උඩරට දුම්රිය අලගල්ල කන්ද තරණය කරන්නේ එතැන් සිටය. දුම්රිය අලගල්ල කන්ද නැගීම අරඹන ස්ථානයේ උස මුහුදු මට්ටමින් මීටර් 245 (අඩි 800ක්) පමණ වෙයි.

අන් දිනවල කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරි 04 දාට පමණක් දහස් ගණන් ප්‍රදේශවාසීහු මෙම අලගල්ල කඳුවැටිය තරණය කරති. ඒ අපූරු හේතුවක් මතය. එනම් නිදහස භුක්ති විඳිනු පිණිසය. එහෙත් 1948 පෙබරවාරි 04 දා අපට ලැබුණු ජාතික නිදහස අලගල්ල නැගීමෙන් භුක්ති විඳීමට ලැබෙනුයේ කෙසේ දැයි මට නම් සිතාගත නොහැක. අඩුම ගණනේ ඒ මත නිදහස් උත්සවයක්වත් නොපවත්වන ඔවුහු කන්දට නැග කා, බී විනෝද වී ආපසු පහළ බසිති.

මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටි අලගල්ල කඳුවැටිය මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක භූමි ප්‍රදේශ වසාගෙන පැතිර ඇත. ඒ මහනුවරින් යටිනුවර සහ හතරලියද්දත්, කෑගල්ලෙන් මාවනැල්ල සහ රඹුක්කනත් වශයෙනි. ඉහත සඳහන් ප්‍රදේශවලින් සහ පිට ප්‍රදේශවලින් සෑම වසරකම පෙබරවාරි හතර වනදාට අලගල්ල කන්ද තරණය කරන පිරිස පන්දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන්ගෙන් වැඩි පිරිස තරුණ තරුණියන් බව ද දැනගන්නට ඇත. අලුයම හිරු උදාවත් සමග කඳු නැගීම අරඹන ඔවුන් යළි පහළට බසිනුයේ රාත්‍රී අඳුරත් සමගිනි. එමෙන්ම ඒ අතුරින් කොටසක් කූඩාරම් සහ ගිනිමැල ගසා එදින රාත්‍රියත් කන්දේම ගත කරති.

ජාතික නිදහස් දිනයේ නිදහස භුක්ති විඳිනු පිණිස එදින අලුයම සිට ප්‍රදේශවාසීන් අලගල්ල තරණය කරන මාර්ග හයක් පමණ තිබේ. ඒවා අතරිනුදු ප්‍රධාන මාර්ග දෙකකි. ඒ කෑගලු දිස්ත්‍රික්කයට අයත් ඉහළ කෝට්ටේ හරහා අලගල්ලවත්ත මාර්ගය සහ මහනුවර දිස්ත්‍රික්කයට අයත් මැණික්දිවෙල පොත්තපිටිය හරහා වන පාරවල් පහ, ගල්තුන මාර්ගයයි. මේ අතරින් පොත්තපිටිය මාර්ගය ඔස්සේ අලගල්ල මුදුනට පිවිසීමට අඩි එක්දහස් හත්සියයකට වැඩි උසක් තරණය කළ යුතුය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට කන්ද තරණය කිරීමේ දී අඩි දෙදෙහස් පන්සියයක පමණ උසක් ඉහළ නැගිය යුතු වෙයි.

උඩරට දුම්රිය මාර්ගය අලගල්ල ගිරි ශිඛරයට වඩාත්ම සමීප වන්නේ අගනුවර සිට කිලෝ මීටර් 94.4 දුරින් පිහිටා ඇති ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අද්දරිනි. අලගල්ල කඳු බෑවුමේ පිහිටා ඇති එහි උස මුහුදු මට්ටමින් මීටර් 322.17 (අඩි 1050) කි.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අලගල්ල කන්දේ නිරිතදිග පිහිටි ප්‍රපාතාකාර බෑවුමේ පිහිටීම ද විශේෂත්වයකි. ඒ හේතුවෙන් කිසිම දිනයෙක එම දුම්රිය ස්ථානය වෙත මෝටර් රථයකින්, ත්‍රීරෝද රථයකින් තබා පා පැදියකින්වත් යා නොහැක. ඉහළ කෝට්ටේ ගම්මානය පිහිටා ඇත්තේ දුම්රියපළින් අඩි 500 ක් පමණ පහළිනි. ඒ අනුව එහි සිට දුම්රියපළ හරහා අලගල්ල කන්දේ මුදුනට ඇති උස අඩි තුන්දහසකි. එය නල්ලතන්නියේ සිට ශ්‍රී පාද පද්මයට ඇති උසට සමානය.

අලගල්ලේ උසම ශිඛරය ප්‍රදේශවාසීන් වෙතින් නම ලබා ඇත්තේ කොඩිගල යනුවෙනි. ඉංග්‍රීසි පාලන සමයේ අප රට මිනුම්ගත කිරීමේ දී ඒ සඳහා ආධාරක මිනුම් කොඩියක් සවි කොට තිබීම නිසා ඊට ඒ නම පටබැඳී තිබේ. කොඩිගල හෙවත් අලගල්ල මුදුනට නැගීමට ස්වභාවික කපොලු දෙකකි. ඉන් ප්‍රධාන කපොල්ල සිංහ කට යනුවෙනි. ඒ කපොල්ල සිංහයකුගේ මුවක හැඩයෙන් යුතු යැයි ගැමියෝ කියති. පර්වතයේ ස්වභාය අනුව එම කපොලුවලට බැහැරින් එහි ශිඛරය වෙත පිවිසිය නොහැක. ඒ අලගල්ල පර්වතයේ ඇති බෑවුමෙහි ශීඝ්‍රතාවය නිසාය.

ජාතික නිදහස් දිනයේ අලගල්ල කන්දට නගින දහස් ගණන් ජනයා එහි මුදුනේ සිට කටුසු කොන්ද හෙවත් රූටන ගල පසු කොට ඊට කිලෝ මීටර් එකහමාරක පමණ නිරිතදිගින් පිහිටි පූජාගලට පිවිසීමට ද අමතක නොකරති. එම ශිඛරය මත මෑත අතීතයේ කොටන ලද ශ්‍රී පාද ලාංඡනයක් දැකිය හැක.

එහෙත් පූජා ගල මත දී සිදු කෙරෙන පුද පූජාවක් ගැන නම් අසන්නට නැත. ඒ කෙසේ හෝ මෙම අලගල්ලේ කඳු මුදුනේ හෙවත් කොඩිගලේ සිට අප රටේ සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වලින් සෑහෙන කොටසක් නිරාබාධිතව දැකබලාගත හැක. ඒ බව අප හා කීයේ මෙම පා ගමනේ දී අපට හමු වූ මැණික්දිවෙල, පොත්තපිටියේ සරත් දිසානායක මහතාය. එමෙන්ම මිහිඳුමින් තොර පෙබරවාරියේ අලගල්ල කඳු මුදුනේ සිට හන්තාන කන්ද, අම්බුළුවාව, බතලේගල, උතුවන්කන්ද මාතලේ රත්තොට කඳු, නකල්ස් සහ දොළොස්බාගේ කඳු සේම කුරුණෑගල, මාවනැල්ල, වරකාපොළ ඇතුළු තවත් නගර කිහිපයක් පියවි නෙතින් දැක බලාගත හැකි බව ද ඔහු කීය. මෙම අලගල්ල ශිඛරයේ සිට සහ පූජාගල මුදුනේ සිට බලන අයකුට උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා දුම්රිය පහත ප්‍රපාතයේ තුරුලිය අතරින් රතු පැහැති පණුවකු මෙන් සෙමින් ඇදී යනු තැනින් තැනින් දක්නට ලැබේ. ඊට අමතරව අලගල්ල කන්දෙන් නික්මෙන දුම්රිය ඒ ආසන්නයේ ඇති මොටන කන්ද හරහා ගමන් කරන අයුරු ද අලගල්ල කඳු මුදුන්වලට කදිමට පෙනෙයි.


9 comments:

  1. වටිනා ලිපිපෙලක්.
    අලගල්ල කන්ද තරනය කිව්වම මටත් මතක්වුනා මාවනැල්ල, අරනායක
    අහුපිනි ඇල්ල බලන්ඩත් ප්‍රදේශවාසීන් පෙබරවාරි 4 වෙනිද යන සිද්දියක් .අඩුතරමින් ඇල්ල බලන්ඩ යන්නෙ කියලහරි කියන්ඩ පුලුවන්.නමුත් විශේෂත්වය තමයි අරනායක නගරයේ ඉදල සැතපුම් 7ක් හෝ8ක් ඉතාම දුෂ්කර (ස්තීර පාරක් නැති ලදුකැලෑ සහිත)පාරක තමයි ඔවුන් එහි යන්නෙ.2004 න් පස්සෙ පාරක් හැදුව එතන හදපු "මිනි හයිඩ්‍රොපවර් ප්ලාන්ට්" එකකට.

    ReplyDelete
  2. මමත් එක සැරයක් අලගල්ල නැග්ගා ඔය කියන පොත්තපිටිය මාර්ගය හරහා. සෑහෙන වැස්සක් වහින වෙලාවක. ඒ තමා මගේ ජීවිතයේ පළමු කඳු නැගීමේ අත්දැකීම. ඇත්තටම බොහොම සුන්දර අත්දැකීමක්.
    ගල මුදුනෙදී වැස්සට අහුවෙලා මීදුම වැඩිවෙලා පහළට බහින්න බැරුව හිටියා මම හිතන්නේ පැය 3 ක් විතර. ඒ වෙළාවේ හිතට දැනුණ හැඟීමනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම්...
    දිගටම ලියන්න. වටිනා හරවත් සහ නොදන්නා දෙයක් කියලා දෙන ලිපි පෙළක්.
    ඒ වගේම සෑම සතිඅන්තෙකම (එහෙම නැත්තම් සති දෙකකට සැරයක්) මාත් ගෙවල් බලා(මහනුවර) යන්නේ දුම්රියෙන් තමා. ඉතින් මේ ලිපියේ කියලා තියෙන දේවල් ගැන හොඳ අවධානයක් යොමු කරන්න පුලුවන් වේවි දැන්...

    ReplyDelete
  3. ෙගාඩක් වටින ලිපියක්.මමත් ෙකා්ච්චෙයන් නම් ගිහින් තිෙයනවා.

    ReplyDelete
  4. ෂා... නියම ලිපි පෙළක්. බොහොම ස්තුතියි අපි නොදන්නා දේවල් කියදුන්නට
    සිංහල සංචාරක ලිපි තියන තවත් වෙබ් අඩවියක් මම පටන්ගත්තා හොඳද කියන්න:
    http://sinhala.srilankantravellers.com/

    ReplyDelete
  5. මෙතෙක් අසා නැති ගොඩක් දේවල් දැනගත්තා....

    ReplyDelete
  6. අපිත් මේ ලගදි පවුල් පිටින් ගියා දැන් ගල උඩ ලස්සන චෛත්‍යක් හදල තියනවා හරිම ලස්සනයි

    ReplyDelete