Monday, September 13, 2010

බලන කොටුවෙන් ලේ කැට ඇළක්

රඹුක්කන - කඩුගන්නාව උඩරට පිවිසුම් දුම්රිය මාර්ගයේ ඉහළම කොටස වැටී ඇත්තේ බලන දුර්ගය හරහා ය. සියවස් දෙකකටත් වැඩි කාලයක් කන්ද උඩරට රාජධානිය සතුරන් ගෙන් රැක ගැනීම සම්බන්ධයෙන් බලන ආරක්ෂක බලකොටුවෙන් සිදු වූ මෙහෙය සුළු පටු නැත. කොළඹ - නුවර මහා මාර්ගයට සාපේක්ෂව බලන විට දුම්රිය මාර්ගය වැටී ඇත්තේ බලන කොටුව සමීපයෙනි. එහෙත් බලන දුම්රිය ස්ථානයේ සිට බලනකොටුවට පිවිසීමට නම් කිලෝ මීටර් දෙකකටත් මඳක් වැඩි දුරක් පසු කළ යුතුය. මුහුදු මට්ටමින් මීටර් 428.24 හෙවත් අඩි එක්දහස් තුන්සිය අනූහයක් උසින් පිහිටි බලන දුම්රිය ස්ථානයට වඩා බලන කොටුව ප්‍රදේශය අඩි පන්සියයක් පමණ උසින් ද වැඩිය.

කොළඹ මහනුවර දුම්රිය මග තැනූ ඉංග්‍රීසීන් බලන යන්න සටහන්කොට ඇත්තේ Ballany යනුවෙනි. ඒ බව වර්තමානයේ ද තහවුරු කර ගත හැකි කදිම සාක්ෂි දෙකක් අප වෙත ඉදිරිපත් කළේ මෙම චාරිකාවේ දී අපට සුවිශේෂ සහයෝගයක් පළ කළ බලන දුම්රිය ස්ථානාධිපති ජී.එස්. වික්‍රමතිලක මහතා ය. බලනට දෙපසින් ඇති ඉහල කෝට්ටේ සහ කඩුගන්නාව දුම්රිය ස්ථානවල ටැබ්ලට් උපකරණවල ටැබ්ලටය රඳවන ස්ථානයන්හි ඇති පිත්තල පුවරුවල අදත් දැකිය හැක්කේ එදා ඉංග්‍රීසීන් බලන හැඳින්වීමට Ballany යනුවෙන් කොටා තිබූ අකුරුම ය.

බලන දුම්රිය පළේ සිට මීටර් දෙසීයක් පමණ දුම්රිය මාර්ගයේ මහනුවර දෙසට යන විට 'අඟුරු වංග' නම් ස්ථානයක් හමුවෙයි. එහි දුම්රිය මගට යටින් අඩි තිහක් පමණ දිග බෝක්කුවක් දක්නට ලැබේ. ගම්මුන් එය හඳුන්වනුයේ 'වවුල් බෝක්කුව' යනුවෙනි.

උඩරට දුම්රිය මග තැනීමේ දී බෑවුම් ස්ථානවල පස් පිරවුම්වලට උඩින් ඉංග්‍රීසීන් පසුකාලීනව දුම්රිය ධාවනයෙන් ඉවත ලන දැවුණු ගල් අඟුරු ටොන් ගණන් යොදා තිබේ. එසේ හෙළන ගල් අඟුරු අළු මුසු අඟුරු වැසි වළාවන් කිහිපයකට හසු වූ විට බදාම තට්ටුවක් මෙන් පස මත සවිමත්ව පිහිටන බව ගම්මු කියති. ඉන් එම ස්ථාන සෝදා පාළුවීම මුළුමනින්ම වැළකෙන බව ද දැන ගන්නට ඇත. අඟුරු වංග නමින් හැඳින්වෙනුයේ එසේ ගල් අඟුරු හෙළන ලද වංගු සහිත ස්ථානයකි.

වවුල් බෝක්කුව යටින් ගලා බසින ඇළ මාර්ගය ගැමියන් හඳුන්වනුයේ අපූරු නමකිනි. ඒ කැටලේ ඇළ යනුවෙනි. බලන කොටුවේ සටන් පැවැති කාලවලදී ඒ ඇළේ මිනිස් ලේ කැට වශයෙන් පාවූ නිසා ඊට ලේ කැට යන නම ලැබී පසුව එය කැට ලේ ඇළ යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව ද අප හා කීයේ වික්‍රමතිලක මහතා ය. එම කැටලේ ඇළේ මුල්ම දිය උල්පත බලන කොටුවෙන් පැනනැගීම ද විශේෂත්වයකි.

බලන සිට කඩුගන්නාවට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 4.4 කි. උඩරට දුම්රිය එම දුර පසු කරනුයේ තවත් අඩි දෙසීය අනූඑකක උසක් ඉහළ නගිමිනි.


කඩුගන්නාව දුර්ගයේ බලන සිට වැටී ගත් කොටස දෙපස ඇත්තේ ද ඉංග්‍රීසීන් මෙරට ව්‍යාප්ත කළ වතු අධිරාජ්‍යයේ නෂ්ටාවශේෂ මත අලුතින් ඉදි වූ ජනාවාසයන් ය. 'මෙල්' නමින් හැඳින්වුණු සුප්‍රකට වැවිලි සමාගමක් විසින් ඉංග්‍රීසීන් විසින් මිලට ගෙන රබර් සහ කොකෝවා වැවීමට යොදාගත් විශාල භූමි ප්‍රදේශය 1970 සමගි පෙරමුණු රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවකියේ දී කුඩා බිම් කොටස් ලෙස ජනතාව අතට පත්කොට තිබේ. අද මැල්වත්ත නමින් හැඳින්වෙන එහි අතීතයේ තිබූ මහා සහ මධ්‍යම පරිමාණයේ වැවිලි සියල්ල මේ වන විට වැනසී ගොසිනි.

මොරගොල්ල සහ වෙරළුගොල්ල යන කඳු අතරින් වැටී ගත් දුර්ග මාර්ගය ඔස්සේ කඳුරටට පිවිසෙන දුම්රියට ගම්මුන් 'මහ බිංගෙය' නමින් හඳුන්වන අංක 09 බිංගෙය හමුවන්නේ මොරගොල්ල කන්දේ පාදමේ දීය. මෙම බිංගෙය දිගින් අඩි එක් දහස් තිස් හයකි.

මෙම චාරිකාව ඇරඹීමට පෙර මෙම ප්‍රදේශ සම්බන්ධ භූමි විස්තරය අධ්‍යයනය කරමින් සිටි අපට 1:50,000 ශ්‍රී ලංකා භූමි සිතියමේ තිබූ Wyrlee Grove (වර්ලී ග්‍රෝව්) නමින් හැඳින්වෙන ස්ථානයක් දැකිය හැකි විය. සිතියමේ සඳහන් පරිදි එය ඇත්තේ අංක 09 බිංගෙය අද්දරම ය. වර්ලී ග්‍රෝව් යනු නිසැක ලෙසම උඩරට ඉංග්‍රීසි වතු අධිරාජ්‍යයේ ප්‍රබල බලකොටුවක් බඳු වත්තක් විය යුතු යැයි එම සිතියම පිරික්සූ අපට සිතිණි.

"වර්ලී ග්‍රෝව් වත්ත තියෙන්නෙ කොහෙද?"


කණපිට හැර වූ ඉංග්‍රීසි එස් අකුරක හැඩයේ ගමන් මඟකින් යුතු හා පියසේ වැහිලිහිණි කූඩු බහුල ලෙස ඇති අංක 9 බිංගෙයින් පිටතට පැමිණි පසු අපි අවට ගැමියන් ගෙන් ඇසීමු.


"වර්ලී ග්‍රෝව් කියලා වත්තක් මෙහේ නැහැනේ. අඩුම තරමින් අපි එහෙම නමක් අහලා වත් නැහැ" අපට පිළිතුරු දුන් ගැමියෝ එසේ කීහ.

"ඒ උණාට මෙට්‍රික් සිතියමේ එහෙම නමක් තියනවනේ. මේ සිතියම නම් කොහෙත්ම වරදින්න බැහැ." අප හා මේ ගමනට එක් වූ වෛද්‍ය සුගත් විජේවර්ධන එක් ගැමියකු හමුවේ ප්‍රබල තර්කයක් මතු කරමින් කීය.


"සිතියමේ තියන විදිහට අපි මේ ඉන්නෙත් වර්ලී ග්‍රෝව් කියන හරියේ තමයි. එහෙම නම් මොකක්ද මේ පැත්තට කියන නම" කොහොමත් වැඩිපුර කතා බහක් නොමැති සහන් එම ගැමියාගෙන් ඇසීය.


"මේ පැත්තට කියන්නෙ වෙරළුගොල්ල."


ඔහු එසේ කී සැණින් සුද්දන්ට වෙරළුගොල්ල යන්න කියැවී තිබූ අපූරුව අපි මනාව වටහා ගතිමු.


3 comments:

  1. තවත් වතාවක් බොහොම අපූරු ලිපියක්. ඉතාමත් රසවත්ව ලියා තිබෙනවා. තවදුරටත් ලියන්න. (අදාළ ඡායාරූප එකතු කරන තුරු නොඉවසිල්ලෙන් සිටිමි)

    ReplyDelete
  2. මේ ඔයාගේ ගවේෂණ වල ප්‍රතිඵල ද? නැත්නම් පොතපතින් ගත්ත දේවල් ද? කොහොම උනත් කමක් නැහැ ගොඩක් අය දන්නේ නැති දේවල් තියෙනව. ස්තූතියි.

    ReplyDelete
  3. දැන් මොකද අලුතින් ලියන්නේ නෙද්ද? අලුත් ලිප් කිවන්න ඇසි. දිගටම පොස්ට් කරන්න.බොහොම ස්තුති.

    ReplyDelete