Thursday, September 9, 2010

උඩරටින් පහතරටට දුම්රියක් පෙරලෙයි


දකින ඕනෑම අයකුගේ සිත් සලිත කරවන ගැඹුරු ප්‍රපාතයක ඉහත්තාවේ ඇති මීයන්ඇල්ල පැරණි දුම්රිය දුර්ග මාර්ගය ඔස්සේ අපි ඉදිරියට ගමන් කළෙමු. ඒ මීට බොහෝ කලකට පෙර මෙම ප්‍රපාතයෙන් පහළට පෙරළී ගිය දුම්රියේ කොටස් තවමත් එහි පාමුල ඇතැයි යන හෝඩුවාව ද සිතේ රඳවා ගනිමිනි. කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ මෙම මීයන්ඇල්ල දුර්ගයේ වූ අනතුරුදායක බව වටහා ගත් ඉංග්‍රීසීන් පසුව මෙම 'මරු කපොල්ල' වසා දමා එම පර්වතය විද බිංගෙයක් තනා තිබේ. මෙම මීයන් ඇල්ල පර්වතය විද ඒ මැදින් බිංගෙයක් තනා උඩරට දුම්රිය ඒ ඔස්සේ ආරක්ෂාකාරීව ධාවනය කරවීමට ඔවුන් තීරණය කොට ඇත්තේ ඒ අනුවය.

ඉතා දිගු කලක් තිස්සේ අධික වර්ෂාවට නතුවීම නිසා මීයන්ඇල්ල පැරණි දුම්රිය මාර්ගයේ ස්ථාන බොහොමයක් මේ වන විට සේදී ගොසිනි. එමෙන්ම ඉවක් බවක් නොමැතිව වැඩෙන මානා ආදී තෘණ විශේෂ නිසා එම දුර්ග මාර්ගය ඔස්සේ ගමන් කිරීම ද තරමක් අපහසුය. එහෙත්, ගැමියන්ගේ පරිහරණය සඳහා යොදා ගැනෙන අඩිපාරක සලකුණු ඒ මානා පඳුරු අතරින් පාදා ගැනීමේ බැරිකමක් ද නැත.

පර්වතයෙන් දෙකට බෙදී කඩා හැලෙන මීයන්ඇල්ල මෙම ප්‍රපාත ගැට්ට මත ගමන් කරන විට නෙත් අබියසින්ම දර්ශනය වෙයි. එය මෙම පැරණි දුම්රිය මාර්ගය සමීපයේම පිහිටා ඇත. ඉහත සඳහන් දුම්රිය අනතුරට හේතුව ද එම දියඇල්ලේ ජලය එක්වරම වැඩිවී ප්‍රපාත ගැට්ට මත තිබූ කෙටි දුම්රිය පාලම් අබලන් වීම යැයි කියනු ලැබේ. එහෙත්, අද එම දුම්රිය පාදම්වල සලකුණක් වත් නැත. ඒ වෙනුවට දැකිය හැක්කේ දිය ඇලි දෙක ගලා හැලෙන එම කපොළු හරහා යොදා ඇති දුම්රිය පීලි කිහිපයකි. එබැවින් මෙම පැරණි දුම්රිය දුර්ගය ඔස්සේ පා ගමනින් යන්නවුන් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. ඒ පොඩ්ඩ එහා මෙහා වීමෙන් ඔවුන් ද එම ප්‍රපාතයට ඇද වැටිය හැකි බැවිනි.

"ඔය කියන කෝච්චිය පහළට පෙරළිලා තියෙන්නේ මෙන්න මේ හරියෙන්. නමුත් පස්සේ සිද්ද වුණු නායයාම් හින්දා ඒ කෝච්චියේ කෑලි පසට යට වෙලා ගිහින්." මෙම චාරිකාවේදී අපට හමු වූ එම පහත බෑවුමේ පදිංචිකරුවකු වන මාකෙහෙල්වල, වලගොඩ පදිංචි හීන්බණඩා වික්‍රමසිංහ මහතා එම ප්‍රපාතය දක්වමින් කීය. මේ වන විට හැට හත් වියෙහි පසුවන ඔහු සමාජ සේවකයකු වශයෙන් ද එම ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව හිඳින්නෙකි.

වික්‍රමසිංහ මහතා පවසන අන්දමට මුහුදු මට්ටමින් අඩි දහසක උසින් පිහිටි ප්‍රපාත ගැට්ට මත සිට එම දුම්රිය පෙරැළී ඇත්තේ මුහුදු මට්ටමින් අඩි තුන්සිය පනහක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ය. අප රටේ භූවිෂමතාව අනුව එම දුම්රිය උඩරට සිට පහතරටට පෙරළී තිබේ.

කෙසේ හෝ මෙම බිහිසුණු අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැඩි විස්තර විමසා බැලීමට ඉන්පසු අපි උත්සුක වීමු. ඒ මෙම දුම්රිය අනතුර 'සුවිශේෂී' එකක් බැවිනි. නමුදු දුම්රිය දෙපාර්තමේතුවෙන් අපට පවසා සිටියේ පුදුම සිතෙන කතාවකි. එනම් එවන් අනතුරක් පිළිබඳ කිසිදු තොරතුරක් තම ලේඛනවල නොමැති බවය.


රඹුක්කන සිට කඩුගන්නාව තෙක් දුම්රිය මාර්ගයේ පා ගමනක යෙදෙන අතරේ මෙම අනතුර පිළිබඳ වෙනම ගවේෂණ චාරිකාවක යෙදීමට අපට සිත් වූයේ එය දුම්රිය දෙපාර්තමේනතුවෙන් ද වසන් වූ සිද්ධියක් බැවිනි.

මෙම අනතුර සිදු වූ ස්ථානයේ සිට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට ඇත්තේ කෙටි දුරකි. එනම් මීටර් අට සියයකි. එබැවින් අපි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානාධිපති ඩී.එල්. කුලසිරි මහතාගෙන් ද මේ අනතුර පිළිබඳව විමසා සිටියෙමු. එවිට ඔහු කීයේ අතීතයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව පැවසෙන එම දුම්රිය අනතුර පිළිබඳ පුවත ප්‍රදේශයේ කිසිවකුටත් රහසක් නොවන බවකි.


එහෙත් ඒ අනතුර සිදු වූ කාල වකවානුව පිළිබඳ නිශ්චිත කොට කීමට මේ කිසිවෙකුත් සමත් නොවෙති.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ආරම්භය හා විකාශනය පිළිබඳව එවකට දුම්රිය සේවයේ ඉහළම විධායක තනතුරක් හෙබ වූ ජී.එෆ්. පෙරේරා මහතා ලියූ The Ceylon Government Railway: The Story of It's Inception and Progress කෘතිය මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීම් ආදිය පිළිබඳ වූ කෝෂ ග්‍රන්ථයක් වැන්න. එය ප්‍රකාශයට පත් වී ඇත්තේ 1925 වසරේය. උඩරට දුම්රිය මාර්ගය තැනීම පිළිබඳව බ්‍රිතාන්‍ය මූලාශ්‍ර ඇසුරින් තොරතුරු රැසක් ඉදිරිපත් කෙරෙන එම ග්‍රන්ථයේ මෙම පැරණි මීයන්ඇල්ල දුර්ගය හරහා වැටී ගත් පැරණි දුම්රිය මඟෙහි ඡායාරූපයක් පවා දැක්වෙයි. එසේම එහි මීයන්ඇල්ල යන්න සඳහන් වී ඇත්තේ ඉංග්‍රීසීන්, එය හැඳින් වූ මීන්ගල්ල (meengalla) යන නමිනි. එහෙත්, එම කෘතියේ ද එබඳු දුම්රිය අනතුරක් පිළිබඳව හෝ එම දුර්ග මාර්ගය වෙනුවට පසුව ඉදි කළ බිංගෙය පිළිබඳ වගේ වගක් නැත.

ඒ අනුව අපි ඒ සම්බන්ධ එක් පූර්ව නිගමනයකට පිවිසියෙමු. එනම් එම අනතුර සිදුවීම සහ බිංගෙය තැනීම 1925 න් පසු සිදු වූ බවය.



10 comments:

  1. kiyala wadak na. niyamai liyanawa. pics tikakuth dammanam thawath hondai. keep on writing okkk....

    ReplyDelete
  2. උපරිමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  3. මචං ෆොටෝස් එහෙම තියෙනවනම් දාන්න. පෝස්ට් එක තවත් වටින එකක් වෙයි. දිගටම කරගෙන යාමට සුභ පැතුම් !

    ReplyDelete
  4. හොදට ලියනවා keep up the good work

    ReplyDelete
  5. නියමයි. ඕතනින් එහාට යන්න එපා ඔය දුම්රිය ගැන හරියටම හොයාගන්න කල්. සමහරවිට ඒ පිළිබද ලිඛ්ත සාක්ෂි ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොයා ගැනීමට හැකිවේවී. කථාව ලස්සනට යනවා. නිකන් වාර්ථා චිත්‍රපටියක් බලනවා වගේ. ඇද වැටුනු දුම්රිය ගැන තව ටිකක් සොයා බලන්න. එතකොට ඒක තවත් රසවස් වේවී.

    ReplyDelete
    Replies
    1. මම ඔයගැන හොයා බැලුවා මේ ලගදී කොටස් 5ක් පොළොවෙන් අඩි 30 40 යට තියෙනවා

      Delete
  6. me rail road eka ai hadanna ona

    ReplyDelete
  7. හරිම ආසවෙන් එක දිගටම කියවගෙන ගියා. නියමයි.

    නාමල්

    ReplyDelete
  8. මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගය ඉවත්කරන්න හේතුව තමයි දුම්රිය මාර්ගය යටින් පිහිටි කොටසේ සිරස් ඉරිතලායාමක්(vertical crack) සිදුව තිබීම. ඒක නිසා යම් කිසි කාලයකදී මෙතන අනතුරක් වෙන්න ඉඩතියනව කියල 1890 ගනන්වලදි දි විතර හිටපු ඉංජිරේනරුවරු සැක පහල කරල ඒ වෙනුවට විකල්පයක් ලෙස කන්ද සිදුරුකර දුම්රිය මාර්ගයක් ඉදිකරන්න තීරණය කරල තියනව. ඒ හැරත් හැම වසරකටම දින ගනනාවක් කන්දේ ඉහලින් ගල්කුට්ටි වැටීම නිසා අවස්ථා ගනනාවකම මෙතන මාර්ගය අවහිර වෙල දුම්රිය ගමන් අඩාල වෙල තියනව. 1900 විතර කාලය තුල මධ්‍යම කදුකරය සහ කොළඹ අතර තිබුණ ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය තමයි දුම්රිය. ඒක දවසක් දෙකක් නැත්නම් ඊට වඩා වැඩි කාලයක් අවහිර වෙනව කියන්නෙ කොච්චර ගැටලු සහගත තත්වයක් වෙන්න ඇතිද? බඩුගබඩාවල දවස් සති ගනන් ටොන් ගනනක බඩු ගොඩගැහිල තියන එක ගැටලුවක් නොවෙන්න ඇත්ද? වතු අයිතිකාරයෝ ඒවට ආණ්ඩුවෙන් උත්තර ඉල්ලල කෑගන්න නැතුව ඇත්ද..? ඒ නිසා තමයි මෙතෙන්ට ස්ථිර විකල්පයක්,අවහිර නොවන විකල්පයක් උවමනා උනේ.. ඒක නිසා තමයි සුද්දො බිංගයෙක් විද්දෙ. එහෙම නැතුව කෝච්චියක් පෙරලිල නෙවෙයි.
    හිතල බලන්න මෙතනින් දුම්රිය ක් පෙරලුනානම් ඒක Kadugannawa incline එකේ සිදුවුන දරුණුම දුම්රිය අනතුර වෙන්න ඉඩතිබුණ. ඒ වගේම මෙතන අත්හැර දැම්මෙ 1905 දියි. එහෙම අනතුරක් උනානම් ඒ අනතුර 1905 පෙරදී සිදුවූවක් විය යුතුයි. නමුත් එහෙම අනතුරක් උනානම් අද වගේ සුද්ද ඒව ලෝකෙන් හංගල වසංකරන්න උත්සාහ කරන්නෙත් නෑ. බ්ලොග් පිටුවල කියන විදියට අනතුරක් උනානම්, මම අහනව මොකද්ද ඒ අනතුර උන කෝච්චිය? එන්ජිම මොකක්ද? මොනවද අනතුරට පත්වුන වැගන්? පෙට්ටි? කීදෙනෙක් මලාද? කීදෙනෙක් ත‍ුවාල උනාද? කවදද අනතුර උනේ? ඔය බ්ලොක් ලියන අය ඒ විස්තරත් ඒ සමග ඉදිරිපත් කල යුතුයි. ජනප්‍රවාද තියෙන්න පුලුවන්. නමුත් ඒවා ‍බොහෝවිට වචනාර්ථයෙන්ම ප්‍රවාද තමයි.

    ReplyDelete
    Replies
    1. මම ඔයගැන හොයා බැලුවා මේ ලගදී කොටස් 5ක් පොළොවෙන් අඩි 30 40 යට තියෙනවා

      Delete