Thursday, September 9, 2010

ආච්චිලාගේ හාල් ගැරීම

මීයන්ඇල්ල ප්‍රපාතයෙන් පහළ පිහිටි මාකෙහෙල්වලට අයත් ඉහළ කෝට්ටේ, වලගොඩ සහ පල්ලෙබැද්දෙවල යන ප්‍රදේශවල වෙසෙන එක් දහස් නවසිය විසි පහට පෙර උපන් එනම් වයස අවුරුදු අසූ පහ ඉක්ම වූ ගැමියකු සොයා ගැනීම අපගේ ඊළඟ අරමුණ විය.

ඒ විමසුමේ දී අපගේ අපේක්ෂාවන් සියයට සියයක් මල්ඵල ගන්වමින් අපට ඉහළ කෝට්ටේ පදිංචි එච්.පී. සේදරා මහතා හමුවිය. දැනට අනූ නව හැවිරිදි ඔහු උපත ලබා ඇත්තේ 1911 වසරේය. ඒ අනුව 1925 වන විට ඔහු දහ හතර වියැති කොළු ගැටයෙකි.

"ඉස්සර ඔය කන්දෙන් පල්ලට කෝච්චියක් පෙරළිලා තියනවා. ඒ කෝච්චියේ තිබුණු හාල් ගෝනි ඔක්කොම පුපුරලා හැම තැනම ඉහිරිලා. පස්සේ ඒවා ඔය මීයන්ඇල්ල ඔය දිගේ තලගොල්ල ඔයටත් ගහ ගෙන ඇවිල්ලා. ඒ කාලේ මේ ගම්වල ආච්චිලා ඒ හාල් එකතු කරගෙන ඇවිත් ඒවා අව්වේ දාලා වේලලා තියනවා. බත් නැතත් ඒවා කොටලා කෑම වර්ග හදන්න පුළුවන් හින්දා. ඊට පස්සෙ උන්දැලා ඒවායේ ගල් වැලි අයින් වෙන්න දිගට හරහට ඒ හාල් ගරලා තියනවා." ඔහු කීයේ අප ඉතා හොඳින් අසා පුරුදු රසවත් පිරුළක් යළි සිහියට නංවමිනි.

සේදරා මහතා එම දුම්රිය අනතුර තම මිත්තනියගේ කාලයට එනම් දහනව වන සියවසට බැර කරන මුත් එම බිංගෙය තැනීම තමන්ගේ පියා වන එච්.පී. සිරිපිනා ද දායක වූ බව අඟවයි. ඒ ඔහු ඒ බිංගෙය හැරීමේ දී ගල් අරන් දැමීමට ගිය බවක් පවසමිනි. එවකට තම පියාගේ මාසික වැටුප පනම් දෙකක් හෙවත් ශත දොළහක් වූ බවද සේදරා මහතා කියයි. මෙම මීයන්ඇල්ල බිංගෙය ඇතුළත හා මීයන් ඇල්ල කඩා හැලෙන ස්ථානය සම්බන්ධ කෙරෙන අඩි පහළොවක් පමණ දිගින් යුතු තරමක කුහරයක් අදත් දක්නට පුළුවන. සේදරා මහතා පවසන අන්දම බිංගෙය හෑරීම සඳහා කඩන ලද ගල් ඉන් පිටතට දමා ඇත්තේ එම කුහරය තුළිනි. එනිසාම මෙම බිංගෙය තුළින් පා ගමනින් යන විට ඒ ගල් කුහරය අද්දරදී අමුතුම සිසිලසක් දැනෙයි. ඒ එම කුහරයෙන් පිටත සිසිල් වාතාශ්‍රය බිංගෙය තුළට නොමඳව ගලා එන නිසාය. ඒ අනුව මෙම බිංගෙය විසි වන සියවසේ මුල් දශකය එකහමාර තුළදී අතරදී එනම් ඉහත සඳහන් දුම්රිය අනතුර සිදු වී සෑහෙන කාලයකට පසුව ඉදි කොට ඇති බව අනුමාන කළ හැක. එමෙන්ම හුදෙක් බ්‍රිතාන්‍ය ලේඛන ඇසුරින් ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය මුල් කොට කෘතියක් සම්පාදනය කළ ජී.එෆ්. පෙරේරා ඊට පසු කාලයක සිදු වූ මෙම දුම්රිය අනතුර සහ බිංගෙය තැනීම එතරම් වැදගත් යැයි නොසිතෙන්නට ඇත.

කොළඹ මහනුවර දුම්රිය මග තැනීමේදී වැඩිපුර ශ්‍රමය වැය කොට ඇත්තේ ඉන්දීය කම්කරුවන්ය. එහෙත්, මෙම බිංගෙය තැනීම සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය දී ඇත්තේ ශ්‍රී ලාංකීය කම්කරුවන් බව පැවසෙයි. එලෙස මෙම අතිදුෂ්කර කාරිය වෙනුවෙන් දහඩිය සේම රුධිරය ද වගුරා ජීවිත පරිත්‍යාගයෙන් දායකත්වය දුන් කම්කරුවන්ගේ වගතුග පිළිබඳ තොරතුරු විමසීමටද අපි අමතක නොකළෙමු. එහිදී ඉහළ කෝට්ටේ පදිංචි විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයකු වන හැත්තෑ හැවිරිදි ආර්.පී.ජී. පියදාස මහතා ඉහළ කෝට්ටේ දුම්රිය වේදිකාවට මඳක් ඉහළින් ඇති පොත්තපිටිය සයිඩිම නමින් හැඳින්වෙන දුම්රිය අතුරු මාර්ගය අද්දර ඇති උස පොල් ගසක් පෙන්වීය.

"අර පොල් ගහ තියෙන්නේ ඔය බිංගෙය හාරන්න සම්බන්ධ වුණු අපේ ආතා කෙනෙකුගේ මිනී වළ උඩ" හෙතෙම කීය.

"ඒ ආතාගේ නම එස්.පී. අප්පුවා. ඉපදිලා තියෙන්නේ එක් දහස් අටසිය අසූවේ. උන්දෑ තරුණ කාලේ තමයි ඔය බිංගෙය හාරන වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සෙත් දිගටම රේල්ලුවේ වැඩ කරලා තියෙනවා. ඔය බිංගෙය හදන්න කම්කරුවෝ විඳපු දුක් ගැන හදපු කවි සීපද එහෙමත් ඔය ආතා අපිට කියා දීලා තියනවා. කොහොම නමුත් ඔය ආතාට රේල්ලුව කිව්වම පණ වගේ තමයි. ඒ හින්දම තමයි එක්දාස් නවසිය හැත්තෑ හතරේ උන්දෑ මැරුණම අපි උන්දෑගෙ මිනිය රේල් පාර අයිනේම වළලලා උන්දෑ රේල්ලුවට කරපු නිහඬ සේවය මතක් වෙන්න ඒ මිනී වළ උඩ පොල් පැළයකුත් හිටෙව්වේ."


පියදාස මහතා එසේ පවසත්ම එම පොල් ගසේ අතු සෙමෙන් ඒ මේ අත සෙලවෙන්නට වූයේ අතීතයේ එම යෝධ මෙහෙවරට දායක වූ එම අප්‍රකට මිනිසාගේ ජීව ගුණය තවමත් එම වාතලයේ සැරිසරන බව කියා පෑමට මෙනි.


3 comments:

  1. හොඳ බ්ලොගයක්,, සුබ පැතුම්!

    ReplyDelete
  2. මම අද තමයි දැනගත්තෙ "ආච්චිට හාල් ගරනවා" කියන අපේ සිංහල කියමනේ සබැ තේරුම.

    ඔබට බොහොම ස්තුතියි. - නාමල්

    ReplyDelete
  3. අතීතයේ රසබර සත්‍ය සිදුවීම් අපහට කියවීමට ඉඩ ලබදෙඑඑම ගැන ඔබට අපගේ ප්‍රණාමය.......තිලක් senasnghe මහතාණනි.

    ReplyDelete