Thursday, September 2, 2010

නිදහස බලන්නට කන්දට නැගලා!

අතීතයේ මෙම අලගල්ල කඳුවැටියේ කුළුහරක් රංචු බහුලව දැකිය හැකි වූ බව අප හා කීයේ මේ ගමනේදී අපට හමු වූ හතරලියද්ද, ඉහළගම, අලගල්ලේ කොළණිය කඩේ පදිංචි ඩී.ජී. රන්බණ්ඩා මහතාය. මේ වන විට එම කුළුහරක් ගහණය ශීඝ්‍රයෙන් වඳ වී ඇති මුත් තවමත් අලගල්ල කන්ද උඩ ප්‍රදේශයේ දී කුළුහරකුන් ගැවසෙන බවට සාක්ෂි වශයෙන් ගොම ආදිය දක්නට ලැබෙන බව ඔහු කීය. "මේ පැත්තේ මිනිස්සු නිදහස් දවසට කන්ද නගින්න මුල් වුණු හේතුවක් ගැන නම් මම අහලා තියනවා. ඒත් ඒක පත්තරේක පළ කරන එක හරිද මන්දා. කොහොම වුණත් මේ විස්තරෙත් එක්ක මගේ නම ගම නම් ගාවන්න එපා." ජාතික නිදහස් දිනය හා අලගල්ලේ කඳු තරණය සම්බන්ධ වීම පිළිබඳ රහස සොයා ගනු නොහැකිව අධික ලෙස හෙම්බත්ව සිටි මොහොතක අපට මුණ ගැසුණු ප්‍රදේශයේ පාසලක සේවය කරන උපාධිධාරී ගුරුවරියක් කීවාය. "මම ගුරු පත්වීම් අරගෙන මේ පළාතට ආවේ අසූ හතරේ අවුරුද්දේ. මගේ ගම මාතර කිට්ටුව. මම මෙහේ ඇවිත් නතර වුණේ මේ පැත්තේ හිටපු පරණ මුල් ගුරුවරයකුගේ ගෙදර. 1948 අපිට නිදහස ලැබෙන කොට ඒ මුල් ගුරුතුමා මේ පැත්තේ පාසලක ශිෂ්‍ය ගුරුවරයෙක් හැටියට වැඩ කරලා තියනවා" එම ගුරුතුමිය සිසුන්ට ඉගැන්වීමේ දී යොදන පැහැදිලි ස්වරයෙන් පවසන අයුරු අපි නොඉවසිලිමත්ව අසා සිටියෙමු.

"ඔය අලගල්ල කන්දේ කොටසක් අයිති හතරලියද්ද පළාත ඉස්සර ප්‍රසිද්ධ වුණේ තුම්පනේ කියලා.


ඒ වෙනකොට තුම්පනේ කියන්නේ හුඟක්ම නොදියුණු පළාතක්. කොහොම හරි 1948 පෙබරවාරි හතරවැනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන හාහෝව රට පුරාම පැතිරිලා යන අතරේ මෙහේ තුම්පනේ මිනිසුන් ඒක දැනගෙන. ඒත් එදාට කොළඹ දී නිදහස ලැබෙනවා කියන දේ අහගෙන හිටියා මිසක් නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් දැන උගත්කමක් මේ පැත්තේ සමහර මිනිස්සුන්ට තිබිලා නැහැ. ඒ නිසා ඒ කාලේ තුම්පනේ ගම්මු පිරිසක් ලංකාවට නිදහස ලැබෙන හැටි අහම්බෙන්වත් දැක බලාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න හතළිස් අටේ අවුරුද්දේ පෙබරවාරි හතවෙනිදා උදේ පාන්දරම අලගල්ලේ කන්දට නැගලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම කොළඹ පැත්ත බලාගෙන ඉඳලා තියනවා. කොහොම හරි එදා හැන්දෑවේ ආපහු කන්දෙන් බහින ඒ මිනිස්සුන්ගෙන් වටපිටාවේ අය අහලා තියනවා හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද කියලා.

එතකොට තමයි කන්දට නැගපු අය කියලා තියෙන්නේ බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා අපි එහෙම නිදහසක් නම් අපේ උපන් හදවියකට දැකලා නැහැ කියලා. ඒ මුල් ගුරුතුමා කියපු විදිහට නම් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඔන්න මේ පළාත්වල සමහරු නිදහස් දවසට අලගල්ල කන්ද නගින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් පහුවෙනකොට ඒක ඉබේටම විනෝද කටයුත්තක් වෙලා." එම ගුරුතුමිය කීයේ අපගේ මන දොල මනාව සපුරාලමිනි.

5 comments:

  1. තුම්පනේ අයනෙ අර ලංතෑරුම හොයාගන්ඩ ගිරේත් උඩින් යැව්වෙ...නේද?

    ReplyDelete
  2. මම රඹුක්කන කෙනෙක්. මාර ෆන් එකක් ගන්ඩ පුලුවන් හයික් එකක් තමයි ඔක.නයිට් එකක් ගහන්ඩ බලාගනම යන්ඩ.කන්ද මුදුනෙ කටුසු කොන්ද කියල ගලක් තියනව එකටනම් නගින එක ටිකක් අවදානම් වෑඩක්.කෑම වතුර අවශ්ය ප්‍රමානයට ගෙනියන්න.පරිසරය විනාස කරන්නෙ නෑතුව ඉන්ඩත් මතකතියාගන්න.

    ReplyDelete
  3. නියම ලිපි ටික . . . දිගටම ලියන්න. අපි අනිවා කියවනවා . . !

    ReplyDelete
  4. ඇත්තටම හරිම රසවත්. ස්තුතියි බොහෝම

    ReplyDelete
  5. එපා නොවී කියවිය හැකියි.

    ReplyDelete