Sunday, September 12, 2010

දස්කොන් ඝාතනය කුමන්ත්‍රණයක්ද?

උඩරට දුම්රිය මාර්ගයේ පනස් නව වන සැතපුම් කණුවට මුහුණ ලා මාර්ගයේ දකුණු පසට වන්නට කුඩා ගල් පර්වතයක් තිබේ. පිහිටීම තවදුරටත් විස්තර කළහොත් මෙය ඇත්තේ ඉහළ කෝට්ටේ දුම්රිය පළට මීටර් තුන්සියයක් පමණ මෙපිටිනි.

බැලූ බැල්මට කිසිදු විශේෂත්වයක් නොපෙනෙන මෙම ගල් පර්වතය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ සඟරජ ලෙන නැතහොත් සංඝරාජ ගල්ලෙන යනුවෙනි. ඊට හේතුව මහනුවර යුගයෙන් ඇරඹි අප රටේ වත්මන් බෞද්ධාගමික පුනර්ජීවනයේ අසම සම පුරෝගාමීත්වය දැරූ වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් ගේ සාමණේර දිවියේ වැදගත් කාලපරිච්ඡේදයක් මෙම පර්වතයේ ඇති ගල් ලෙන තුළ ගෙවී යාම ය.

වැලිවිට සරණංකර සංඝරාජ නාහිමියන් උපත ලබා ඇත්තේ තුම්පනේ, වැලිවිට ග්‍රාමයේ ය. බිළිඳු වියේදී කුලතුංග යනුවෙන් නම් ලද උන්වහන්සේ ගේ උපන් දිනය 1698 ජූනි 19 දා බවට අනුමාන කෙරේ. අප රටේ විධිමත් පැවිදි උපසම්පදාව අතුරුදන්ව තිබූ එම යුගයේ උන්වහන්සේ පැවිදි බිමට පත්ව ඇත්තේ යටිනුවර සූරියගොඩ විහාරයේ දී සූරියගොඩ සාමණේරයන්ගේ උපාධ්‍යායත්වයෙනි. එහෙත්, ඒ වන විට රට පුරා ඔඩුදුවා තිබූ ආගමික දේශපාලන අර්බුදයක් හමුවේ සූරියගොඩ සාමණේර හිමියන් පසුව මරණ දඬුවමට ලක්ව තිබේ.

ඉන්පසුව ධර්ම විනය හැදෑරීමට කිසිදු ක්‍රමයක් නොමැතිව අසරණ බවට පත් වැලිවිට සරණංකර සාමණේරයන් ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ ඉතා අවදානම් සහගත ක්‍රමෝපායකි. වර්තමාන දුම්රිය මග අද්දර ඇති මෙම ගල් ලෙන තුළ උන්වහන්සේගේ මූලික අධ්‍යාපන සමය රහසිගතව ගෙවී යනුයේ ඒ අනුවය.

"මේ අවට මිනිස්සු ඕක සඟරජ ලෙන කියලා හැඳින්වූවාට කෝච්චියේ යන එන හුඟක් මිනිස්සු ඔය ලෙන ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ අවට සමහර මිනිස්සුත් කියන්නන් වාලේ ඕකට සඟරජ ලෙන කියනවා මිසක් ඔය සම්බන්ධ පැහැදිලි ඉතිහාස කතාවක් දන්නේ නැහැ." එම ඓතිහාසික ලෙන පිළිබඳ ජන අවධානය කෙබඳු දැයි විමසූ අපට එම පිළිතුර ලබා දුන්නේ ඉහළකෝට්ටේ සහකාර දුම්රිය ස්ථාධිපති එච්.එම්. විජේසිරි මහතා ය. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ සිට අත පොවන මානයේ පිහිටි එම ගල් ලෙන පිළිබඳ ඓතිහාසික පසුබිම කෙටියෙන් හෝ මෙහි ලා සටහන් කළ යුතු යැයි අපට සිතිණ.

කන්ද උඩරට රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (වර්ෂ 1707 - 1739) ගේ අඹ යහළුවකු සේම එවකට සිටි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දස්කොන් හෙවත් ගස්කොන් අදිකාරම පිළිබඳව අපි අසා ඇත්තෙමු. බොහෝ දෙනෙකු දන්නා පරිදි දස්කොන් මරණ දඬුවමට යටත් වනුයේ රජුගේ බිසවක සමග පැවැති අනියම් සබඳතාවයක් හෙළිවීමෙන් රාජ උදහසට ලක්වීමෙනි.

එහෙත්, ඉහත සඳහන් කතා ප්‍රවෘත්තියේ ඇති පටලැවිලි බොහොමයකි. ඉන් පළමුවැන්න ඔහුගේ නම පේදුරු ගස්කොන් මිස දස්කොන් නොවීමය. ගස්කොන් නමේ 'ග' යන්න 'ද' යන්න බවට පත්ව ඇත්තේ ඔහු මරණ දඬුවම ලබා බොහෝ කලකට පසුව ය.

ගස්කොන් දෙවන රාජසිංහ රජ සමයේ (වර්ෂ 1636 - 1687) ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ ජාතික අසරුවකු ගේ පුතෙකි. පසුව දස්කොන්ගේ පියා රජ තුමාගේ අස් පන්තියේ මුහන්දිරම් පදවියට පත්ව තිබේ. ගස්කොන්ගේ මව ශ්‍රී ලංකාවේ විසූ පෘතුගීසි කාන්තාවකි. ප්‍රේඩ්‍රෝ ගැස්කොන් (Pedro Gascon) නමින් යුතු ඔහුගේ නම පසුව පේදුරු ගස්කොන් බවට පත්ව තිබේ. ඒ සිංහල උච්චාරණ රීති අනුව විය යුතුය. ඔහු බාල වියේ සිටම වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ ගජ මිතුරකු බව ද පැවසෙයි.

එසේම ගස්කොන් අදිකාරම මරණයට පත් කොට ඇත්තේ හිස ගසා දැමීමෙන් නොවේ. පැරණි ලේඛනවල සඳහන් වන්නේ ඔහු "ශුල වධයට පමුණුවා" මරණයට පත් කළ බවකි. ශුල වධය යනු උල තැබීම ය. ඒ අනුව දස්කොන් දංගෙඩියට ගෙන යන විට කීයේ යැයි පැවසෙන හිටිවන කවි පවා ඉතා පසුකාලීනව ප්‍රබන්ධය වූ ඒවා බව ඒවායේ බස් වහර අනුව වුව හොඳින් පෙනෙයි.

"දස්කොන් රාජ උදහසට ලක්වීමට හේතුව ඔහු සැබැවින්ම වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවක් සමග පැවැත්වූ අනියම් සබඳතාවයක් ද නැතහොත් රජුගේ සමීපතමයකු වූ ඔහුට එරෙහිව රජ වාසල ප්‍රභූන් දියත් කළ රහස් කුමන්ත්‍රණයක් දැයි අදත් හරිහැටි පැහැදිලි නැත. කෙසේ හෝ ගස්කොන් මරණ දඬුවමට යටත් වීමත් සමඟම ඔහුගේ තවත හිතෛෂීවන්තයකු ද සිරගත කෙරේ. ඒ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. එහෙත්, පියතුමා සිරෙන් නිදහස්ව අවුත් රජුට යම් බරපතළ කරුණක් පවසයි. එනම්, දස්කොන්ට එරෙහිව නැගුණු එම අනාචාර චෝදනාව මුලුමනින්ම අසත්‍ය බවකි. එය ඔහුට එරෙහිව පැන නැගුණු රහස් කුමන්ත්‍රණයක් වශයෙන් රජු ඒත්තු ගන්නේ ගොන්සාල්වෙස් පියතුමා ගේ එම ප්‍රකාශයෙනි. ඉන් පසු එම කුමන්ත්‍රණ කරුවන් ලෙස රජු නම් කරනුයේ එවකට ධර්ම ශාස්ත්‍රීය වශයෙන් මහත් ප්‍රතාපයක් පළ කළ පැවිද්දකු හා ගිහියෙකි. ඒ පැවිද්දා වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ ගුරු සූරියගොඩ සාමණේරයන් ය. ගිහියා විහාරේ රාළහාමි නමින් ප්‍රකටව සිටි ලෙව්කේ බණඩාර ය. එවකර රජ වාසල සමීපතමයකු වූ ලෙව්කේ බණ්ඩාර දස්කොන් ගේ ගෞරවණීය මිතුරෙකි. සූරියගොඩ සාමණේරයන් යනු දස්කොන් ගේ සිංහල භාෂා ගුරුවරයා බව ද ප්‍රකට ය. කෙසේ හෝ ඔවුන් සම්බන්ධ යැයි පැවසුණු රහස් කුමන්ත්‍රණය පිළිබඳව අසා මහත් සේ උදහස් වන නරේන්ද්‍රසිංහ රජු සූරියගොඩ සාමණේරයන් ගේ හිස ගසා දමනුයේ තම සුමිතුරු දස්කොන්ට කළ අපරාධය පිළිබඳ දැඩි සිත් තැවුලකිනි. මේ අතර රජතුමා ලෙව්කේ බණ්ඩාර රාජ අපරාධකරුවකු වශයෙන් නම් කොට මාකෙහෙල්වල නිවසක සිර අඩස්සියේ තබයි. ඒ වන විට යොවුන් වියේ පසු වූ වැලිවිට සරණංකර සාමණේරයන් තමන්ගේ ධර්ම පිපාසය සංසිඳුවා ගැනීම පිණිස බන්ධනාගාර රැඳවියකු ඇසුරු කොට රාජ උදහසට පත් වීමේ බිහිසුණු අවදානම ද නොතකා මාකෙහෙල්වලට වැඩම කරනුයේ පැහැදිලි කරුණක් මත ය. එනම් ලෙව්කේ බණඩාර හෙවත් විහාරේ රාළහාමි වැනි ධර්ම ශාස්ත්‍රීය උගතුන් එවක සාමජයේ අතිශයින් විරල වූ බැවිනි.

ගස්කොන් මරණ දඬුවමට යටත් කෙරුණේ වර්ෂ 1721 දී යැයි අනුමාන කෙරේ. ඒ අනුව සරණංකර සාමණේරයන් මෙම ගල් ලෙනේ වාසයට සපැමිණ ඇත්තේ අවුරුදු විසි තුනෙන් පසු එළැඹි ඊට ආසන්න වයසක දී බව නිගමනය කළ හැක.

රාජ නියෝගය මත ලෙව්කේ බණ්ඩාරයන් සිර කොට ඇත්තේ ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ ඇති 'පොල්ගස්ගොඩගෙදර' නම් නිවසක බව ද සනාථ වී තිබේ. එම නිවැසියන් ගේ පරපුර අදත් එහි යහතින් වෙසෙයි. එම නිවසේ සිරගත ජීවිතයක් ගත කළ ලෙව්කේ බණ්ඩාරයන්ට අලගල්ලේ විහාරයට යාමේ ඒමේ නිදහස පමණක් හිමිව තිබේ. සරණංකර සාමණේරයන් ඔහුගෙන් ශාස්ත්‍ර හදාරනුයේ එසේ යන එන අතරතුර රහසේ මග රැක සිටිමිනි. එලෙසෙ සාමණේරයන් පළමුව සතිපට්ඨාන සූත්‍රයත් දෙවනුව බාලාවතාරයේ නාම කාණ්ඩය දක්වාත් ලෙව්කේ බණ්ඩාරයන් වෙතින් ඉගෙන ගත් බව පැවසෙයි.


4 comments:

  1. මේ වගේ දේවල් ලියන එක හොඳයි..

    ReplyDelete
  2. මම දන්නා හැටියට දස්කොන් කියන නම හැදිල තියෙන්නෙ ප්‍රංශ නමක් වන ගැස්කොයින් (Gascoine) වලින්. මේ නම තියෙන අය තවමත් ලෝකයේ තැනින් තැන ඉන්නවා.

    ගොන්සාල්වේස් කියන නම ඇති අය පෘතුගීසීන්ගෙන් පැවත එන අය. දැන් ඒ අය ගොන්සාල්කෝරාලෙ කියල නම අරගෙන තියෙනවා.

    ReplyDelete
  3. හරිම අපූරු සටහනක්. ඒ වගේ ම රසවත්. තවත් මේ වගේ දේවල් ලියන්න. දැනට අපට දකින්න පුළුවන් පුරාණ දේවල් සබැදමින් ලිවීම හරිම අපූරුයි.

    ReplyDelete
  4. ඔබගේ ලිපි පෙල හරිම ආසවෙන් කියවගෙන යනවා... හරිම අපූරුවට පෙල ගස්වා තිබෙන නිසා, මනසේ සබැ චිත්‍රයක් මවෙනවා නිරායසයෙන්ම.
    මෙම ලිපිය සම්බන්ඩව ...
    ශ්‍රී ලාන්කික සමස්ත ඉතිහාසයම සැලකූ කල, මෙම කරුනු කුඩා උනත්, ඉතා වටිනවා, මොකද අපිට හැම වෙලවකම කියවන්න ලැබෙන්නෙ ප්‍රඩාන් කරුනු විතරක් නිසා.

    තිලක් මහත්මයා, ඔබට බොහොම ස්තූතිය්.

    නාමල්.

    ReplyDelete