Monday, September 13, 2010

සුද්දන් දුටු 'හොඳ දසුන'

විසි වන සියවසේ මුල් භාගය තුළ මෙම මොන්ටානා වත්තෙන් කොටසක් යාපන වැසියෙකු වූ නාගලිංගම් නම් විනිසුරුවරයකු විසින් සුළු අපනයන බෝග වගාව සඳහා මිලට ගෙන ඇත. ඉන්පසුව එහි පාලනය ඔහුගේ පුත් සෙල්වලිංගම් විසින් සිදු කොට තිබේ. නමුත් 1970 සමගි පෙරමුණු රජයේ නොවිධිමත් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මොටන වත්තේ සියලු කොටස් ද රජයට පවරාගෙන ඇත. ඉන්පසු විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව එහි ජනයා පදිංචි කරවා ඔවුනට සුළු පරිමාණයේ බෝග වගාව සඳහා එහි බිම කොටස් වලට කඩා දී තිබේ. නමුත් මේ වන විට ඒ වගාවන් සියල්ල ද අභාවයට ගොසිනි. මුලදී මොන්ටානා වත්ත වශයෙන් නම් කෙරුණු එම කඳුගැටයෙන් කොටසක් මේ වන විට මොටන ජනපදය ලෙස ද අනික් කොටස ලිංගම් වත්ත ලෙස ද ජනාවාස වී ඇත්තේ ඉහත පසුබිම යටතේ ය. එම වතු වගාව සම්බන්ධ අතීතයේ තිබූ ගොඩනැගිලි පවා මේ වන විට වැනසී ගොසිනි. නමුදු ලිංගම්වත්ත ප්‍රදේශයේ දිරා යමින් පවතින පරණ රබර් ඉස්ටෝරුවක් නම් අදටත් දැක ගත හැක. එය නැරඹීමට නම් අංක 8 දරන බිංගෙය අද්දරින් අඩි දෙසීයයක පමණ උසක් ඉහළ නැගිය යුතු ය. කොළඹ නුවර දුම්රිය මාර්ගයේ ත්‍රාසජනකම ඉසව්ව වන හකුරා වැටිච්ච ගල දුර්ග මාර්ගය ඉදි කිරීම සම්බන්ධ කතා ප්‍රවෘත්තීන් රැසක් තිබේ. මෙම පා ගමනේ දී අපට නොමඳ සහායක් ලබා දුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කඩුගන්නාව ස්ථිර මාර්ග පරීක්ෂක (අතිරේක) ප්‍රඥාරත්න පාදෙණිය මහතා ඒ සම්බන්ධ බොහෝ කරුණු දැන හිඳින්නෙකි.

දුම්රිය මග තැනීම පිණිස එම පර්වතයේ කොටසක් කඩා ඉවත් කිරීමට සැලසුම් කෙරුනු මුල් අවදියේ කඹයක එල්ලී එම පර්වතය නිරීක්ෂණය කිරීමට ගිය බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු ද එම බිහිසුණු ප්‍රපාතයෙන් පහළට ඇද වැටී මිය ගිය බවට වාර්තා ඇතැයි පාදෙණිය මහතා කීය. කෙසේ හෝ උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් පසු මෙම දුර්ගයේ සිට දිස්වන හාත්පස දර්ශනය කොතෙක් සුන්දර ද යත් ඉංග්‍රීසින් සකස් කළ සිතියම් වල හොඳ දසුන (Good view) යනුවෙන් මෙම ස්ථානය දක්වා තිබේ. සබරගමු මිටියාවත් කඳුවැටි සහ ඉන් ඔබ්බෙහි වූ මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන් ද මනාව දර්ශනය වන මෙම 'හොඳ දසුන' පාමුල පිටිසර ගම්මාන කිහිපයක් ඇත. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුනුගම, මාලියැද්ද සහ මිපිටිවල ඒ ගම්මාන අතරට අයත් ය. දුර්ගය මතින් දුම්රියේ යන විට එම ගම්මානවල නිවාස පෙනෙනුයේ ගිනි පෙට්ටි තරමට ය.

"බැරිවෙලාවත් මේ ප්‍රපාතය උඩ දී කෝච්චියක් පීලි පැන්නොත් ඒක අඩි දාහක් විතර පහළට පෙරළිලා මිනිස්සුත් එක්කම කුඩු පට්ටම් වෙලා පහළ ගම්වලටත් විශාල විනාශයක් වෙනවා නේද?" එම දුර්ග මාර්ගයේ විස්තර පැවසීමට අප සමඟ 'හොඳ දසුන' වෙත පැමිණි පාදෙණිය මහතා ගෙන් අපි එලෙස ඇසුවෙමු.

"ඒක නම් කීයටවත් වෙන්න බැහැ" ඔහු සිනාසුණේ අප ඉතා ලද බොළඳ පැනයක් ඇසූ පරිද්දෙනි.


"ඉංග්‍රීසි ඉංජිනේරුවෝ මේ කොටස සැලසුම් කරලා තියෙන්නේ කිසිම විදිහකින් එහෙම දරුණු අනතුරක් නොවෙන විදිහට" හෙතෙම සිනාසෙමින් කීය.


"මේ රේල් පාර සකස් කරලා තියෙන්නේ පර්වතය පැත්තට ආනතියක් හිටින විදිහට. ඒ වගේම මේ රේල් පීලි දෙකට අමතරව තවත් ආරක්ෂිත අතිරේක පීලි දෙකක් යොදලා තියනවා."


"එයින් ප්‍රපාතය පැත්තට යොදලා තියන විශේෂ ආරක්ෂිත පීල්ල (Guard rail) විශේෂ එකක්. ඒක නිසා කෝච්චියක් පීලෙන් පැන්නත් අර පීල්ල අතරේ හිරවෙනවා මිසක් කීයටවත් ප්‍රපාතයට පෙරළෙන්නේ නැහැ" හෙතෙම කීය. මෙම දුර්ග මාර්ගය අන්තෙයේ නුවර දෙසට වන්නට කුඩා දුම්රිය පාලමක් ඇත. මොටන කන්දෙන් ප්‍රපාතයට ගලා හැලෙන දැනට සිඳී ගොස් ඇති දිය දහරාවක් මතින් වැටී ඇති මෙය හැඳින්වෙනුයේ කුදිර පාලම යනුවෙනි. මෙම දුර්ග මාර්ගය ඉදි කෙරෙන සමයේ එහි පැමිනි ඉංග්‍රීසි නිලධාරීන් ගේ අශ්වයනට ගමන් කිරීම සඳහා ඉදිකොට තිබූ බැවින් මෙම පාලමට කුදිර පාලම නම ලැබී තිබේ.

"නුවර පැත්තේ ඉඳලා එන කෝච්චියක් රෑට මේ කුදිර පාලම පහු කරන කොට එක පාරටම ඒකෙ හෙඩ් ලයිට් එක කඩිගමුවේ ස්ටේෂන් එකට පෙනිලා නොපෙනී යනවා." මෙම චාරිකාවේ දී අපට මඟතොට තොරතුරු කියා දුන් මාකෙහෙල්වල වලගොඩ එච්.බී. වික්‍රමසිංහ මහතා කීය. ඔහුගේ එම ප්‍රකාශය එතරම් ගණන් ගත යුත්තක් නොවේ යැයි අපට මුල දී සිතිණ. එහෙත් දෙවනුව ඒ පිළිබඳව සිතන අතරේ අප තුළ ඇතිවූයේ තරමක විස්මයකි. ඒ කඩිගමුව දුම්රිය ස්ථානය මෙම කුදිර පාලමේ සිට කිලෝමීටර් නවයක් දුරින් සහ අඩි හයසිය හැත්තෑපහක් පහළින් පිහිටා ඇති බැවිනි.

1 comment:

  1. අද දවස ගත කිරීමට හරවත් ලි කිහිපයක් ලැබීම සතුටක්....අපහට ප්‍රායෝගිකව කර ගැනීමට අපහසු සංචාරයන් මනා ලෙස අපට්ඇ මවා දීම ගැන ස්තුතියි.

    ReplyDelete