Sunday, September 12, 2010

අංජි පහේ බෝක්කුව

උඩරට දුම්රිය මාර්ගය හා සම්බන්ධ ඇතැම් ඉදිකිරීම් දකින ඕනෑම කෙනෙකු තුළ මහත් විස්මයක් පිබිදවීමට සමත් ය. එහෙත්, දුම්රියෙන් ගමන් කිරීමේ දී ඒ සෑම විශ්වකර්ම නිමැවුමක්ම දක්නට නොලැබේ. ඒ සඳහා එම දුම්රිය මගෙනි පා ගමනක යමින් එම ස්ථාන සියුම් නිරීක්ෂණයකට ලක් කළ යුතු ය.

ඉහළ කෝට්ටේ දුම්රිය පළේ සිට මීටර් හය සියයක් පමණ මහනුවර දෙසට යන විට හමුවන 'අංජි පහේ බෝක්කුව' එවන් විස්මිත නිමැවුමකි. ස්ථානය හරියටම නිවැරදිව කිවහොත් උඩරට දුම්රිය මාර්ගයේ සැතපුම් පනස් නවය හමාරේ සැතපුම් කණුව පිහිටා ඇත්තේ මේ අංජි පහේ බෝක්කුව මතය.

බෝක්කුවක් යනු කුඩා ඇළක් හෝ දොළක් මතින් පාරක් තැනීමේ දී සිදු කෙරෙන ලුහු ඉංජිනේරුමය නිමැවුමකි. එහෙත්, කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ හමුවන ඇතැම් බෝක්කු එසේ 'සුළු පටු' ඒවා නොවේ. ඒ බව අපි ඔබට කලින්ම පෙන්වා දුනිමු. රඹුක්කන - මාවනැල්ල ප්‍රධාන මාර්ගය මතින් උඩරට දුම්රිය මාර්ගය දිවෙන කඩිගමුවේ 'කැබැල්ලවත්ත බෝක්කුව' ඊට කදිම නිදසුනකි.

කඳු ප්‍රදේශ දෙකක් යා කෙරෙන නිම්න තලාවක් හරහා ආධාරක මත ඉදි කෙරුණු මාර්ගය ඉංග්‍රීසි බසින් හැඳින්වූයේ Viaduct යනුවෙනි. මලලසේකර ශබ්ද කෝෂයේ "පහත් බිමකට උඩින් දුම්රිය ආදිය යාම සඳහා තැනූ (බෝක්කු සහිත) පාලම" ලෙසින් මෙම ඩය-ඩක්ට් යන ඉංග්‍රීසි වදන සිංහලයෙන් විස්තර කොට තිබේ. අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂ ඉදි කිරීමක් වන ආරුක්කු නවයේ පාලම හෙවත් 'දෙමෝදර පාලම' එවන් ඩයඩක්ට් එකක් හෙවත් බෝක්කු පාලමකි. අංජි පහේ බෝක්කුව ඉදිකොට ඇත්තේ ද ඉහත සඳහන් අයුරින් නිම්නයක් නැතහොත් ද්‍රෝනියක් කඳු දෙකක් සමග යා කරමිනි. එසේ යා කෙරෙනුයේ අලගල්ල හා කෙල්වරාව යන කඳු ය. මේ කඳු දෙකට මැදින් වූ ද්‍රෝනිය ඔස්සේ හක්ඔළුවාව ඔය දියඇල්ලක ස්වරූපයෙන් අංජි පහේ බෝක්කුව යටින් හඬ නගමින් ගලා බසියි. දුම්රිය මාර්ගයක් කන්දකින් තවත් කන්දකට යොමු කිරීම ඒ මැදින් වූ නිම්නය හරහා 'බෝක්කුවක්' ඉදි කිරීමෙන් කළ නොහැක. ඒ සඳහා බෝක්කු පාලමක් ඉදිකළ යුතුය. නැතිනම් ඒ නිම්නය හරහා වේල්ලක් බඳු දැවැන්ත පස් පිරවුමක් කළ යුතු ය. මෙම අංජි පහේ බෝක්කුව තනා ඇත්තේ ද එම නිම්නය හරහා ඉදිකොට ඇති අඩි අසූවක් පමණ උස සහ අඩි හාරසියයක් පමණ දිග යෝධ වේල්ලක් බඳු පස් පිරවුමක් මැදි කර ගනිමිනි. ඒ අනුව අලගල්ල කන්ද පසු කරන උඩරට දුම්රිය අංජි පහේ බෝක්කුව වැටී ගත් එම වේල්ල ඉතා සුව පහසුවෙන් තරණය කොට කෙහෙල්වරාව කන්දට සේන්දු වනු පෙනෙයි.

අංජි පහේ බෝක්කුව මතින් එහි යටට පිවිසීමට එතරම් අපහසුවක් නැත. එවිට එතුළින් ගලා හැලෙන් හක්ඔළුවාව ඔයේ අසිරිය මැනවින් දැක බලා ගත හැක.

බෝක්කු කටක් යන වදන ඇසෙත්ම අපගේ සිහියට නැගෙනුයේ යමකුට බඩ ගා හැකි නැතහොත් අසීරුවෙන් රිංගා යා හැකි තරමේ කුඩා කුහරයකි. එහෙත්, අංජි පහේ බෝක්කුවේ කට හෙවත් සිදුර එසේ නොවේ. එය ඇත් ගොව්වෙකු පිට හිඳුවා ගත් දැවැන්ත හස්ති රාජයකුට පවා කිසිදු අපහසුවකින් තොරව එහා මෙහා යා හැකි තරමේ උසකින් හා පළලකින් යුතු වූවකි. මෙම බෝක්කුව යටින් ගලා බසිනා හක්ඔළුවාව ඔය දිය නෑමට සහ විනෝදවීමත් වීමට ඉතා සුදුසු ස්ථානයකි. එහෙත් ඒ මුවාවෙන් පිටස්තරයන් එහි පැමිණ සිදු කරන අශිෂ්ට අවිනීතකම් ඉවසා දරා සිටීමට නම් අවට ගැමියෝ කොහෙත්ම සූදානම් නොවෙති.

"ඔය බෝක්කුව මුලින්ම හදලා තියෙන්නේ ආරුක්කු පාලමක් විදිහට. ඒ පාලමේ ආරුක්කු පහක් තිබිලා තියනවා, පස්සේ ආරුක්කු හතරක් වහලා. දැනට පේන්නේ එකයි. ඒකයි ඕකට අංජි පහේ බෝක්කුව කියන්නෙ. අංජි කියන්නෙ දෙමළ භාෂාවෙන් පහ කියන එකටනේ." "අපට අපබ්‍රංසයක් වූ" මෙම අංජි පහේ කතාව එසේ ලිහා දුන්නේ මෙම ස්ථානය ආසන්නයේ ඇති මාකෙහෙල්වල, ඉහළගම පදිංචිකරුවකු වන ඉහළ කෝට්ටේ ග්‍රාම නිලධාරී ඩබ්ලියු.ජී. කරණාරත්න මහතාය. ඔහුගේ එම ප්‍රකාශය සැබෑ නම් මෙය ද නිසැක ලෙසම දෙමෝදර පාලම මෙන් බෝක්කු පාලමක් හෙවත් වෙයාඩක්ට් එකකි. "ඒත් මොකක්ද එහෙම ඉදි කිරීමක් කරලා පස්සේ කොටසක් වහලා දාන්න හේතුව" ඔහුගේ එම ප්‍රකාශය එක්වරම විශ්වාස කරනු නොහැකිව අපි ඇසීමු. "ඉස්සර මේ හක්ඔළුවාව ඔයේ වතුර හිටපු ගමන් වැඩිවෙලා, වේගවත් වෙලා තියනවා. ඒ හින්දා බැරි වෙලාවත් එහෙම විශාල වේගවත් වතුර පාරක් ආවොත් බෝක්කුවට හානි නොවී අනික් වහපු ආරුක්කුත් ඇරගෙනම වතුර පාර පහළට ගලාගෙන යන විදිහට තමයි ඒවා පස්වලින් වහලා තියෙන්නෙ", කරුණාරත්න මහතා කීය. එහෙත් ඔහු එලෙස පවසා හිඳිනුයේ එම බෝක්කුවට යෙදෙන "අංජි" යන වදනට ගැළපෙන සේ පසුව සැකසුණු ජන ප්‍රවාදයක් මිස සත්‍යයක් නොවෙතැයි අපට සිතිණ.

කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් භාරව කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ඩබ්ලියු.එෆ්. ෆේවිල් එම දුම්රිය මග තැනීමේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම වාර්තා කොට ඒවා ඡායාරූපවලට නංවාගෙන තිබේ. එම විස්තර සහ ඡායාරූපවලින් කොටසක් මේ වන විට මෙරටට ලැබී ඇත. මෙම පා ගමනේ යෙදෙන වකවානුවේ එම ඡායාරූප සහ ඊට අදාළ විස්තර පිරික්සමින් සිටි අප මවිතයෙන් මවිතයට පත් කළ එක් කෙටි විස්තරයක් හා ඡායාරූපයක් ද හමු විය.

ඒ පලංචි යොදා තැනෙමින් පවත්නා ආරුක්කු පහකින් යුතු 'බෝක්කු පාලම' ක සේයාරුවකි. එහෙත් අප වඩාත් විස්මයට පත් වූයේ අලගල්ල බෝක්කු පාලම කොළඹ නුවර දුම්රිය මාර්ගය - 1860 (Allegalla viaduct Colombo - Kandy line - 1860) යන විස්තරය පැහැදිලි ලෙසම එහි සඳහන්ව තිබෙනු දැකීමෙනි.


5 comments:

  1. මචං උඹ ගාව 1 MP අඩු ෆෝන් කැමරාවක් වත් නැද්ද?

    ReplyDelete
  2. සහෝදරයා,
    තොරතුරු නම් සෑහෙන්න වටිනවා. කිවුවත් වගේ ඡායරූපත් එක්කරන්න පුලුවන් නම් සටහනේ අගය කියා නිම කරන්න බැහැ.

    ReplyDelete
  3. ඒකනම් ඇත්ත තමයි මචං මමත් ඔක්කොම ලිපි කියෙව්වා.

    ReplyDelete
  4. http://ceylon.digitalseya.com/details.php?image_id=1325&sessionid=eka4fmi28qo7a6vnq9m29g1m55

    ReplyDelete
  5. viaduct /vaɪə.dʌkt/ noun [ C ]
    viaduct: a long high bridge, usually held up by many arches , which carries a railway or a road over a valley
    Cambridge Advanced Learners DIctionary එකේ viaduct විස්තර කරලා තියෙන්නේ මේ විදියට.

    මම කල්පනා කලේ ඔබ ඩයඩක්ට් කියලා දිගටම ලියලා තියෙන්නේ වැරදීමකින් ද කියලා. ඒක වයඩක්ට් වෙන්න ඕනේ නේද?

    >>බ්‍රිතාන්‍ය ජාතික ඩබ්ලියු.එෆ්. ෆේවිල් එම දුම්රිය මග තැනීමේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම වාර්තා කොට ඒවා ඡායාරූපවලට නංවාගෙන තිබේ. එම විස්තර සහ ඡායාරූපවලින් කොටසක් මේ වන විට මෙරටට ලැබී ඇත.<<
    අර කිව්ව පින්තූර අපිටත් බලන්න දාමුකෝ බලන්න.
    මම වගේ කෝච්චි ප්‍රේමියෙකුට ඉතාම වැදගත් බ්ලොග් සටහනක්.

    ReplyDelete